සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ජනිත මධුශංක හෙවත් ‘පොඩි ලැසී’ නැමැත්තා අද (27) අලුයම ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා තහවුරු කළේය.
මෙරටට රැගෙන ආ සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිතව ඇත.
ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු මෙරටට ගෙන්වා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ නිලධාරීන් කණ්ඩායමක් එරටට පිටත්ව ගොස් තිබුණි. ඒ අනුව අද අලුයම කටුනායක ගුවන්තොටුපළ හරහා ඔහු පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මෙරටට රැගෙන එනු ලැබීය.
දකුණු පළාතේ සිදුවූ මනුෂ්‍ය ඝාතන සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රැසකට මොහු සෘජුවම සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබේ.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීම හරහා දැනට මෙරට ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ ජාලයන් පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි ආරක්ෂක අංශ අපේක්ෂා කරයි.