බුදුදහමට සහ මහා සංඝරත්නයට වර්තමානයේ එල්ල වෙමින් පවතින විවිධ බලපෑම් සහ සමාජීය අර්බුද පිළිබඳව රජය සහ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කෙරුණු “මහා සඟ සමුළුව” අද (20) පස්වරුවේ කොළඹ බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේදී පැවැත්විණි.
මෙරට සියලු නිකායන් නියෝජනය කරන මහා සංඝරත්නය සහ බෞද්ධ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සමුළුවේදී, බුද්ධ ශාසනයේ සුරක්ෂිතතාව වෙනුවෙන් කරුණු 10කින් සමන්විත විශේෂ සංඝ ප්‍රතිඥාවක් ප්‍රකාශයට පත් කරන ලදී.
පූජ්‍ය මහාචාර්ය අගලකඩ සිරි සුමන හිමියන් සඳහන් කළේ, සියලු හිමිවරුන්ගේ අත්සනින් යුත් මෙම ප්‍රතිඥාව ඉදිරියේදී ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාර දීමට නියමිත බවයි. එහි අන්තර්ගත ප්‍රධාන ඉල්ලීම් මෙසේය:
-
ඓතිහාසික උරුමය පිළිගැනීම: මිහිඳු හිමියන්ගේ වැඩමවීමේ සිට මෙරට රාජ්‍යය සහ බුදුදහම අතර පවතින අවියෝජනීය සම්බන්ධය සහ රාජ්‍යයට අනුශාසනා කිරීමේ හිමිකම පිළිගත යුතුය.
-
ව්‍යවස්ථාපිත ආරක්ෂාව: 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති පරිදි බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ වගකීම රජය ඉටු කළ යුතුය.
-
ගිහි – පැවිදි සබඳතාව: සමාජ මාධ්‍ය හරහා ගිහි පැවිදි සබඳතාව බිඳ දැමීමට දරන උත්සාහයන් පරාජය කිරීමට රජය මැදිහත් විය යුතුය.
-
දැහැමි පාලනය: දසරාජ ධර්මයෙන් සහ සතර සංග්‍රහ වස්තුවෙන් යුත් බෞද්ධ දේශපාලන දර්ශනයට අනුකූලව රට පාලනය කළ යුතුය.
-
පූජනීය වස්තූන්ගේ ගෞරවය: බුදු පිළිම ඇතුළු පූජනීය වස්තූන්ට නිගරු වන ක්‍රියාමාර්ග වැළැක්වීමට නීතිමය පියවර ගත යුතුය.
-
බෞද්ධ අධ්‍යාපනය: පිරිවෙන් සහ පාසල් අධ්‍යාපන විෂය මාලා සකස් කිරීමේදී බෞද්ධ මූලධර්ම සහ ඓතිහාසික අධ්‍යාපන ක්‍රමවේද කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
-
අමාත්‍යාංශය කාර්යක්ෂම කිරීම: බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව අකර්මන්‍ය වීමට ඉඩ නොදී කාර්යක්ෂම ආයතන බවට පත් කළ යුතුය.
-
ආර්ථික හා සමාජ දියුණුව: දැහැමි රාජ්‍ය පාලනයක් හරහා රටේ ආර්ථික හා සමාජීය අභිවෘද්ධිය සලසා දිය යුතුය.
-
පුරාවස්තු ආරක්ෂාව: විහාර දේවාලගම් ඇතුළු ඓතිහාසික උරුමයන් ජාතික වස්තූන් ලෙස ආරක්ෂා කිරීමේ වගකීම රජය සතුය.
-
භික්ෂු ගෞරවය සුරැකීම: භික්ෂූන් වහන්සේලාට අපහාස වන අයුරින් අදහස් ප්‍රකාශ කිරීම සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් පාලනය කිරීමට පියවර ගත යුතුය.
මෙම සමුළුව හරහා බෞද්ධ ජනතාව තුළ පවතින අවිනිශ්චිතතාව දුරු කරමින්, බුද්ධ ශාසනය සුරැකීම සඳහා පොදු පෙරමුණක් ගොඩනැගීමට මහා සංඝරත්නය අපේක්ෂා කරති.