මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුව: 12කට මරණ දඬුවම, 4කට අත්හිටවූ සිරදඬුවම්

2022 වසරේ රට කැළඹූ අරගල සමයේ නිට්ටඹුව නගරයේදී පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ නඩුවේ තීන්දුව අද (11)

මිතුරන් සමග බෙදාගන්න

2022 වසරේ රට කැළඹූ අරගල සමයේ නිට්ටඹුව නගරයේදී පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ නඩුවේ තීන්දුව අද (11) ප්‍රකාශයට පත් කෙරිණි. ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නිකුත් කළ මෙම තීන්දුවට අනුව විත්තිකරුවන් 12 දෙනෙකුට මරණීය දණ්ඩනය නියම විය.

දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ මෙම නඩුවේ තීන්දුව විත්තිකරුවන් 12 දෙනෙකුට මරණීය දණ්ඩනය, විත්තිකරුවන් 4 දෙනෙකුට අත්හිටවූ සිරදඬුවම් (මාස 6ක බරපතල වැඩ සහිත සිරදඬුවම වසර 5කට අත්හිටුවා ඇත). විත්තිකරුවන් 23 දෙනෙකු නිදොස් කොට නිදහස්.

අත්හිටවූ සිරදඬුවම් නියම වූ විත්තිකරුවන් සිව්දෙනාට රුපියල් 10,000ක දඩයක් සහ රුපියල් 50,000ක වන්දි මුදලක් බැගින් ගෙවීමට නියම විය. මෙම වන්දි මුදල් මියගිය මන්ත්‍රීවරයාගේ සහ ආරක්ෂක නිලධාරියාගේ භාර්යාවන් වෙත ප්‍රදානය කළ යුතු අතර, ඒවා අද දිනම ගෙවා නිම කළ යුතු බවට සභාපති විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා නියෝග කළේය.

මෙරට අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට වෝහාරික සහ තාක්ෂණික සාක්ෂි බහුලවම භාවිත කළ නඩු විභාගය මෙය බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට ප්‍රකාශ කළේය. සැකකරුවන් හඳුනා ගැනීම සඳහා,

සීසීටීවී (CCTV) සහ වීඩියෝ දර්ශන, මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය (Face Recognition), ඩී.එන්.ඒ (DNA) පරීක්ෂණ වාර්තා, පුද්ගල සාක්ෂි 200කට අධික ප්‍රමාණයක් බාවිතාකර ඇත .

මරණීය දණ්ඩනය නියම කිරීමට ප්‍රථම විත්තිකරුවන්ගෙන් කරුණු විමසූ අවස්ථාවේදී ඔවුන් ප්‍රකාශ කළේ තමන් එම ස්ථානයට පැමිණියේ සිද්ධිය නැරඹීමට මිස ඝාතනයට සම්බන්ධ වීමට නොවන බවයි. තමන් සියලු දෙනා නිවැරදිකරුවන් බවත්, පවුල් නඩත්තු කිරීමේ වගකීම ඇති බැවින් දඬුවම ලිහිල් කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.

කෙසේ වෙතත්, ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලූ විනිසුරු මඬුල්ල, චෝදනා ඔප්පු වූ 12 දෙනාට මරණ දඬුවම නියම කළේය.

2022 මැයි 09 වනදා අරලියගහ මන්දිරයේ පැවති හමුවක සිට පොළොන්නරුව බලා යමින් සිටියදී මෙම පිරිස විරෝධතාකරුවන්ගේ ප්‍රහාරයට ලක් විය. මනුෂ්‍ය ඝාතනය, අයුතු ජනරාශිය සහ දේපළ කොල්ලකෑම යන චෝදනා යටතේ 41 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබූ අතර නඩු විභාගය අතරතුර විත්තිකරුවන් දෙදෙනෙකු මියගොස් තිබුණි.

සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ වසරකට අධික කාලයක් මෙම නඩු විභාගය පැවැත්විණි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්