දිවයින තුළ පවතින මහජන හදිසි තත්ත්වය යළිත් දීර්ඝ කිරීම පිළිබඳව රජයේ දැඩි අවධානය යොමුව ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (02) ප්‍රකාශ කළේය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සඳහා වන යෝජනාව ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ ආපදා තත්ත්වය සැළකිල්ලට ගනිමින් මීට පෙර ප්‍රකාශයට පත් කර තිබූ හදිසි තත්ත්වය පසුගිය පෙබරවාරි 28 වැනිදායින් අවසන් විය. එය දීර්ඝ නොකිරීම හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ බලතල ද මේ වන විට අහෝසි වී තිබේ.
කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ මෙරට තුළ ඉන්ධන හිඟයක් ඇති විය හැකි බවට පවතින බිය හේතුවෙන් ජනතාව පෝළීම්වල රැඳී සිටින ආකාරයක් දක්නට ලැබේ. එවැනි තත්ත්වයක් තුළ අත්‍යවශ්‍ය සේවා සැපයීම විධිමත් කිරීම සඳහා හදිසි නීති රෙගුලාසි යළි බලාත්මක කිරීමේ අවශ්‍යතාවය රජය විසින් සලකා බලමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.