මැදපෙරදිග කලාපීය ගැටුම් තවදුරටත් දරුණු අතට හැරෙමින්, හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ තිබූ ඉරාන බෝම්බ හෙළන යාත්‍රා 16ක් විනාශ කිරීමට අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) ඊයේ (10) පියවර ගෙන තිබේ. මෙම මෙහෙයුම කලාපයේ නාවික ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස අමෙරිකාව හඳුන්වා දී ඇත.
මේ අතර, ඊශ්‍රායලය විසින් මධ්‍යම ඉරානයේ ඉස්ෆහාන් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් යුනෙස්කෝ (UNESCO) ලෝක උරුමයක් වන 17 වැනි සියවසට අයත් ඓතිහාසික ‘චෙහෙල් සොටවුන්’ (Chehel Sotoun) මාලිගාවට සහ එහි උද්‍යානවලට බරපතල හානි සිදුව ඇති බව වාර්තා වේ. ප්‍රහාරයෙන් මාලිගාව අභ්‍යන්තරයේ තිබූ වටිනා පුරාණ ලී කැටයම් රැසක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ඉරානයේ පවතින දේශපාලන අස්ථාවරත්වය සහ ආරක්ෂක තර්ජන හේතුවෙන් එරට කාන්තා පාපන්දු කණ්ඩායමේ සාමාජිකාවන් දෙදෙනෙකුට මානුෂීය වීසා ලබා දීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබේ. ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් සඳහන් කළේ, මීට දිනකට පෙර එම කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පස් දෙනෙකුට දේශපාලන රැකවරණය ලබා දුන් අතර, අද දින තවත් දෙදෙනෙකුට එම අවස්ථාව ලබා දුන් බවයි.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදේදී ඇමෙරිකානු ප්‍රහාරයකින් ගිල්වා දැමූ ‘IRIS Dena’ නෞකාවේ නාවිකයින් බේරා ගැනීමේ මෙහෙයුම්වලට ඇමෙරිකාව බාධා කළ බවට ඉරානය දැඩි චෝදනාවක් එල්ල කරයි. මෙය බරපතල ‘යුද අපරාධයක්’ ලෙස හඳුන්වන ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය, නෞකාව ගිල්වා දැමීමෙන් පසු අසරණව මුහුදේ සිටි නාවිකයින්ට සහන සැලසීමට අමෙරිකාව හිතාමතාම ඉඩ නොදුන් බව ප්‍රකාශ කළේය.
මෙම අමානුෂික ක්‍රියාව හේතුවෙන් නෞකාවේ සිටි නාවිකයින් 104 දෙනෙකුට ජීවිත අහිමි වූ බව ඉරානය තහවුරු කරයි. ජාත්‍යන්තර නීති සහ මූලික මානව මූලධර්ම උල්ලංඝනය කරමින් නිරායුධ නෞකාවකට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානය යොමු විය යුතු බව ඉරානය අවධාරණය කර සිටියි.