ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සිදුවූ බව කියන රුපියල් එක්කෝටි විසිහත් ලක්ෂ පනස්දහසක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එම මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (12) අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අල්ලස් කොමිසම විසින් සැකකාර හිටපු සාමාන්‍යාධිකාරීවරයාට එරෙහිව අධිකරණය හමුවේ කරුණු කිහිපයක් ගොනු කර තිබුණි:
මණ්ඩලයේ සභාපතිවරයාට නිල වාහන දෙකක් තිබියදී, මහනුවර උතුර පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ ප්‍රතිපාදන යොදාගනිමින් කුලී පදනම මත ප්‍රාඩෝ (Prado) වර්ගයේ ජීප් රථයක් ලබාගෙන ඇත.
එම වාහනය කුමන කටයුත්තක් සඳහා ධාවනය කළාද යන්න නිසි ලෙස තහවුරු කර ගැනීමකින් තොරව රුපියල් 12,750,000ක කුලී මුදලක් ගෙවීම හරහා රජයට විශාල පාඩුවක් සිදු කිරීම.
නියමිත ප්‍රසම්පාදන නීති රීති නොසලකා හරිමින් පෞද්ගලික ආයතනයක් වෙත අදාළ කොන්ත්‍රාත්තුව ලබා දීම.
අදාළ වාහනය නිසි පරිදි භාරගැනීමකින් තොරවම සැපයුම්කරු වෙත මුදල් ගෙවීම මගින් එම ආයතනයට අයුතු ලාභයක් ලබාදීම.
රජයේ මුදල් අවභාවිත කිරීම, දූෂණය සහ එම වරද සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනා මත අල්ලස් කොමිසම මෙම විමර්ශන පවත්වාගෙන යනු ලබයි. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, මෙම සිද්ධියට සම්බන්ධ තවත් නිලධාරීන් සිටීද යන්න පිළිබඳව ද විමර්ශන ක්‍රියාත්මකයි.