2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය (FIFA World Cup 2026) සඳහා සහභාගී වන තම කණ්ඩායමේ සියලුම තරග අමෙරිකා එක්සත් ජනපදය වෙනුවට මෙක්සිකෝවේදී පවත්වන ලෙස ඉරානය නිල වශයෙන් FIFA ආයතනයෙන් ඉල්ලා තිබේ. ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපති මෙහ්දි තාජ් (Mehdi Taj) මහතා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර ඇත.
මෙම තීරණයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ආරක්ෂක ගැටලුවයි. ඉරාන කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරන ලද ප්‍රකාශයක් හමුවේ තම ක්‍රීඩකයින් අමෙරිකාවට නොයැවීමට ඉරාන බලධාරීන් තීරණය කර තිබේ. ඉරාන ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වත්මන් දේශපාලන හා ආරක්ෂක නොසන්සුන්තාවය හමුවේ තම ක්‍රීඩකයින්ට නිදහසේ තරගාවලියට සහභාගී වීමට ඇති හැකියාව අවම වී ඇති බවයි.
මුල් සැලසුමට අනුව ඉරානය සහභාගී වන මූලික වටයේ තරග කිහිපයක් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් (Los Angeles) සහ සීඇටල් (Seattle) යන නගරවල පැවැත්වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, ඉරානය පවසන්නේ අමෙරිකාවට ඇතුළු වීම වෙනුවට තරගාවලියේ සම සත්කාරකත්වය දරන මෙක්සිකෝවේ ක්‍රීඩාංගණ තම තරග සඳහා වෙන් කර දෙන ලෙසයි.