මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගී වී සිටින ශ්රී ලංකා කණ්ඩායමේ ප්රධානතම දඟපන්දු යවන්නා වන වනිඳු හසරංගට ආබාධයක් හේතුවෙන් තරගාවලියේ ඉදිරි තරග අහිමි වීමේ දැඩි අවදානමක් මතු වී තිබේ.
පසුගිය පෙබරවාරි 8 වනදා අයර්ලන්තයට එරෙහිව පැවති තරගයේදී වනිඳුගේ පාදයේ මාංශ පේශි ආබාධයක් (Hamstring injury) මතු වී ඇති අතර, ඒ හේතුවෙන් ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවනු ඇති බව වාර්තා වේ.
ශ්රී ලංකා ක්රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, වනිඳු වෙනුවට තුන් ඉරියව් ක්රීඩක දුෂාන් හේමන්ත කණ්ඩායමට ආදේශ කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.
වනිඳු හසරංග මෙම ආබාධයට ලක් වූයේ ශ්රී ලංකාව සහභාගී වූ පළමු තරගයේදීම වීම විශේෂත්වයකි. එම තරගයේදී අයර්ලන්ත කණ්ඩායම පරදවා ලකුණු 20ක ජයක් වාර්තා කරමින් මෙවර ලෝක කුසලාන ගමන සාර්ථකව ආරම්භ කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
කෙසේ වෙතත්, කණ්ඩායමේ ප්රධානතම තුරුම්පුවක් වන වනිඳු අහිමි වීම ඉදිරි තීරණාත්මක තරගවලදී ශ්රී ලංකාවට ප්රබල අභියෝගයක් වනු ඇතැයි ක්රීඩා විචාරකයෝ පෙන්වා දෙති.