වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්

වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් කැනේඩියානු රජය විසින් නව ඩිජිටල් ආරක්ෂණ පනතක් හඳුන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා

මිතුරන් සමග බෙදාගන්න

වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් කැනේඩියානු රජය විසින් නව ඩිජිටල් ආරක්ෂණ පනතක් හඳුන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘සුරක්ෂිත සමාජ මාධ්‍ය පනත’ (Safe Social Media Act) නමින් කැනඩා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණ වන්නේ ඩිජිටල් නියාමන ආයතනයක් පිහිටුවීම මඟින් කෘත්‍රිම බුද්ධි (AI) චැට්බෝට් පද්ධති වඩාත් ආරක්ෂිත කිරීම සහ ඉහළ ආරක්ෂක ප්‍රමිතීන් ස්ථාපිත කිරීමයි. කෙසේ වෙතත්, බාලවයස්කාර දරුවන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා නිසි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවට සහතික වන තාක්ෂණික සමාගම් මෙම තහනමෙන් නිදහස් කිරීමට ද පියවර ගෙන ඇත.

මෙම නීති උල්ලංඝනය කරනු ලබන සමාගම් සඳහා කැනේඩියානු ඩොලර් මිලියන 10ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 7කට ආසන්න) ස්ථාවර දඩයක් හෝ එම සමාගමේ ගෝලීය දළ ආදායමෙන් 3%ක දැවැන්ත මුදලක් දඩ වශයෙන් පැනවීමට නව නීතිය මඟින් ප්‍රතිපාදන සලසා තිබේ.

පසුගිය පෙබරවාරි මාසයේදී කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රදේශයේ පාසලක සිදු වූ බිහිසුණු වෙඩි තැබීමකින් කුඩා ළමුන් 6 දෙනෙකු ඇතුළු 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමත් සමඟ අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳව කැනඩාව තුළ දැඩි කතාබහක් නිර්මාණය විය. එහිදී 18 හැවිරිදි සැකකරු ප්‍රහාරයට මාස කිහිපයකට පෙර ගිනිඅවි ලබාගන්නා ආකාරය පිළිබඳව ‘ChatGPT’ හරහා තොරතුරු සොයා ඇති බව අනාවරණය වීම, මෙම දැඩි නීතිරීති කඩිනමින් ගෙන ඒමට ප්‍රධානතම හේතුව වී ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්