ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට බලපා ඇති අතිශය දරුණු හිම කුණාටු තත්ත්වය හේතුවෙන් ඊයේ (22) රාත්‍රී 9:00 සිට මුළු නගරයම සම්පූර්ණයෙන් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
අඩි දෙකක් පමණ උසට හිම පතනය විය හැකි මෙම ස්වභාවික විපත, වසර ගණනාවකට පසු නගරයට බලපෑ ප්‍රබලම හිම කුණාටුව ලෙස එරට කාලගුණ අංශ හඳුන්වා දෙයි.
කුණාටුවේ අවදානම හේතුවෙන් නගරයේ දෛනික ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත.
සියලුම අධිවේගී මාර්ග වසා දමා ඇති අතර, අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් වාහන ධාවනය තහනම් කර තිබේ.
බස් රථ සහ දුම්රිය සේවා නතර කර ඇති අතර ගුවන් ගමන් ද අත්හිටුවා ඇත.
පාසල් ඇතුළු රජයේ සහ පෞද්ගලික ආයතන සඳහා නිවාඩු ප්‍රකාශයට පත් කර තිබේ.
නිව්යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානි මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතාවට උපදෙස් ලබා දුන්නේ, පවතින අනතුරුදායක තත්ත්වය මත සියලු ගමන් බිමන්වලින් වැළකී ආරක්ෂිතව නිවෙස්වලට වී සිටින ලෙසයි.
කාලගුණ වාර්තාවලට අනුව මෙම හිම කුණාටු තත්ත්වය සඳුදා පස්වරුව දක්වා අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. හිම පතනයත් සමඟ ඇති විය හැකි දැඩි සුළං සහ දෘශ්‍යතාව අඩුවීම හේතුවෙන් අනතුරු ඉහළ යා හැකි බැවින් ආපදා සහන සේවා කණ්ඩායම් දැඩි සූදානමකින් පසුවෙති.