ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) පූර්ණ සහාය

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලිය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව එම බැංකුවේ නව දේශීය අධ්‍යක්ෂ ෂැනන් කව්ලින් (Shannon Cowlin) මහත්මිය සහතික

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලිය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව එම බැංකුවේ නව දේශීය අධ්‍යක්ෂ ෂැනන් කව්ලින් (Shannon Cowlin) මහත්මිය සහතික වෙයි.

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත් වූ කව්ලින් මහත්මිය ඊයේ (12) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා පැවැත්වූවාය.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයකට අනුව මෙම හමුවේදී අවධානය යොමු වූ ප්‍රධාන කරුණු කිහිපයකි,

දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාව සහ ADB බැංකුව අතර පවතින ශක්තිමත් හවුල්කාරිත්වය තවදුරටත් පුළුල් කිරීමට නව අධ්‍යක්ෂවරිය අපේක්ෂා කරයි.

මෑතකදී බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ හානි යථා තත්ත්වයට පත් කිරීමට රජය ගෙන යන කඩිනම් වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණි.

මධ්‍යම කඳුකරයේ පරිසර පද්ධති ආරක්ෂා කිරීම, ජල මූලාශ්‍ර සුරැකීම සහ පීඩාවට පත් ප්‍රජාවගේ ජීවනෝපාය මාර්ග ස්ථාවර කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

රජය ලබාගෙන ඇති ආර්ථික ප්‍රගතියේ ප්‍රතිලාභ, අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල වසන සාමාන්‍ය ජනතාව වෙත සෘජුවම ගලායාමට සැලැස්වීම වත්මන් රජයේ ප්‍රමුඛතාවක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ADB බැංකුව සහ ශ්‍රී ලංකාව අතර ඉදිරි වසර කිහිපය සඳහා වන වැදගත් තීරණ කිහිපයක් ද මෙහිදී සාකච්ඡා විය.

2026 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට නියමිත නව ආයෝජන ව්‍යාපෘති සහ අයවැය සහාය ලබා දීම. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා මෙම වසරේ මැදභාගයේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. දැනට ක්‍රියාත්මක ADB ව්‍යාපෘති සම්බන්ධීකරණය කිරීමේදී ශ්‍රී ලංකා රජය දක්වන ඵලදායිතාව පිළිබඳව නියෝජිත පිරිස සිය ප්‍රසාදය පළ කළහ.

මෙම අවස්ථාවට ආසියානු සංවර්ධන බැංකුවේ කලාපීය අධ්‍යක්ෂවරයා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්