“සින්දූර්” මෙහෙයුම ත්‍රස්තවාදයට එරෙහි නව ප්‍රතිපත්තියක් – මෝදි

පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත 26ක් අහිමි වීම සම්බන්ධයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී කඳවුරු වලට එරෙහිව ඉන්දියාව දියත් කළ “සින්දූර්” මෙහෙයුම හුදෙක් ප්‍රහාරයක් පමණක් නොව, ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාවේ

මිතුරන් සමග බෙදාගන්න

පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත 26ක් අහිමි වීම සම්බන්ධයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී කඳවුරු වලට එරෙහිව ඉන්දියාව දියත් කළ “සින්දූර්” මෙහෙයුම හුදෙක් ප්‍රහාරයක් පමණක් නොව, ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාවේ නව ප්‍රතිපත්තියක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (12) ඉන්දීය ජාතිය අමතමින්. “සින්දූර්” මෙහෙයුම ඉන්දීය ජනතාවගේ හැඟීම් පිළිබිඹු කරනවා පමණක් නොව, යුක්තිය වෙනුවෙන් ඉන්දියාවේ නොසැලෙන කැපවීම ද පෙන්නුම් කරන බව ඔහු පැවසුවා.

මැයි 06 රාත්‍රියේ සහ 07 අලුයම ඉන්දීය හමුදාව පාකිස්තානයේ ත්‍රස්තවාදීන් සැඟවී සිටින ස්ථාන සහ ඔවුන්ගේ පුහුණු මධ්‍යස්ථාන වලට නිවැරදිව ප්‍රහාර එල්ල කළ බවත්, ඉන්දියාව මෙවැනි දැඩි තීරණයක් ගනීවි යැයි ත්‍රස්තවාදීන් කිසිවිටෙකත් නොසිතූ බවත් අග්‍රාමාත්‍යවරයා පැවසුවා.

මේ වන විට පාකිස්තානයට එරෙහි ප්‍රහාර නතර කර තිබුණත්, පාකිස්තානය ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග ඉන්දියාව නිරීක්ෂණය කරන බවත්, ඉන්දීය ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු ආරක්ෂක අංශ ඒ පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

“සින්දූර්” මෙහෙයුම අතරතුර මියගිය ත්‍රස්තවාදීන්ට සමුදීමට පාකිස්තානයේ ඉහළ හමුදා නිලධාරීන් පැමිණි ආකාරය ලෝකයම දුටු බවත්, එය පාකිස්තානයේ අඳුරු පැතිකඩ ලොවට හෙළි කළ බවත් මෝදි මහතා පැවසුවා. එය රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදයේ ප්‍රබල සාක්ෂියක් බව ද ඔහු අවධාරණය කළා.

ඉන්දියාව සහ ඉන්දීය පුරවැසියන් ඕනෑම තර්ජනයකින් ආරක්ෂා කිරීමට දැඩි පියවර ගන්නා බවත්, පාකිස්තාන හමුදාව සහ රජය ත්‍රස්තවාදය දිරිමත් කිරීම පාකිස්තානයටම විනාශයක් ගෙන එනු ඇති බවත් ඔහු පැවසුවා. පාකිස්තානයට බේරීමට අවශ්‍ය නම් ත්‍රස්තවාදී කඳවුරු විනාශ කළ යුතු බවත්, ත්‍රස්තවාදය සහ සාකච්ඡා එකට ගෙන යා නොහැකි බවත් ඔහු අවධාරණය කළා.

පාකිස්තානය සමඟ සාකච්ඡා තිබේ නම් ඒවා ත්‍රස්තවාදය පිළිබඳ සාකච්ඡා පමණක් විය යුතු බවත්, බුදුන් වහන්සේ ඉන්දියානුවන්ට සාමයේ මාර්ගය පෙන්වා දී ඇති නිසා සෑම ඉන්දියානුවෙකුටම සාමයෙන් ජීවත් වීමට අයිතියක් ඇති බවත් මෝදි මහතා ප්‍රකාශ කළා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්