කිරින්ද ධීවර වරායේ නීති විරෝධීව වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262කට අධික පාඩුවක් සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර ඇති හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දුරකථනය විසන්ධි කර නිවසින් බැහැරව සැඟවී සිටින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (11) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දෙන ලෙස කිහිප වරක්ම ඔහුට දැනුම් දුන්නද, විවිධ අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් ඔහු දිගින් දිගටම එය මගහරිමින් සිටින බව කොමිසමේ නිලධාරීන් අධිකරණයට චෝදනා කළා. රාජිත සේනාරත්න මහතා අසනීප තත්ත්වයෙන් පෙළෙන බවට වෛද්‍ය වාර්තාවක් නීතිඥයෙකු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබුණත්, ඊට කිසිදු නීතිමය පිළිගැනීමක් නොමැති බවද ඔවුන් කියා සිටියා.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියද, මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ වරෙන්තුවක් නිකුත් කිරීමට නම් ඊට අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බවයි.
කෙසේ වෙතත්, මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට බලය තිබෙන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා, එම බලතල උපයෝගී කරගෙන වහාම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළා.