හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (සැප්තැම්බර් 11) විජේරාම මාවතේ පිහිටි සිය නිල නිවසින් පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.
මෙම තීරණය ගෙන ඇත්තේ ‘ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ’ පනත් කෙටුම්පත ඊයේ (සැප්තැම්බර් 10) පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් සමඟයි. නව නීතිය හේතුවෙන් හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී තිබූ නිල නිවාස සහ අනෙකුත් වරප්‍රසාද අහෝසි වේ.
ඒ අනුව, මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් කොළඹ 07, විජේරාම මාවතේ නිල නිවසින් පිටත්ව ගොස් සවස 4:00ට පමණ තංගල්ල කාල්ටන් නිවසට පැමිණීමට නියමිතයි. එහිදී හිටපු ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් උත්සවයක් සංවිධානය කර ඇති බවද වාර්තා වේ.
මහින්ද රාජපක්ෂ මහතාට අමතරව, හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සිය නිල නිවාස රජයට භාරදීමට කටයුතු කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. යම් හෙයකින් අදාළ නිවාස භාර නොදුනහොත්, ඒ පිළිබඳව ලිඛිතව දැනුම් දෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේය.