මෙරටට ආනයනය කරන ඉලෙක්ට්‍රික් වාහන අවහිර කිරීම සහ පාරිභෝගික විශ්වාසය බිඳ දැමීම සඳහා සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට Economy Next.com වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
මෙම කුමන්ත්‍රණයේ පළමු පියවර ලෙස, මෙරටට ගෙන්වන සියලුම ඉලෙක්ට්‍රික් වාහන “විමර්ශනයක්” සඳහා යැයි පවසා රේගුවේ රඳවා ගැනීමේ සැලසුමක් පවතින බව එම වාර්තාවේ දැක්වෙනවා.
2025 අගෝස්තු මාසයේ වාහන ලියාපදිංචි කිරීමේ සංඛ්‍යාලේඛන අනුව, Toyota (29%) ට පසු BYD (21%) දෙවන ස්ථානයට පත්ව තිබීම, BYD වැනි චීන ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදකයින්ගේ සීඝ්‍ර වර්ධනය පෙන්නුම් කරනවා. මෙම වර්ධනය සාම්ප්‍රදායික වාහන ආනයනකරුවන්ට තර්ජනයක් වී ඇති බව Economy Next වාර්තා කරයි. විශ්වාසනීය රේගු ආරංචි මාර්ග උපුටා දක්වමින් එම වාර්තාව සඳහන් කරන්නේ, ඉලෙක්ට්‍රික් වාහන පරීක්ෂාවට ලක් කිරීමේ මුවාවෙන් ඒවා රඳවා තබා ගැනීමට සැලසුම් කර ඇති බවයි.
මෙම තත්ත්වය ඇති වුවහොත්, නව ඉලෙක්ට්‍රික් වාහනවල මිල විශාල ලෙස ඉහළ ගොස්, පාවිච්චි කළ හෝ පැරණි වාහන සඳහා යළිත් වෙළඳපොළක් නිර්මාණය වනු ඇතැයි වාර්තාවේ සඳහන්. දැනටමත් අලුත් ඉලෙක්ට්‍රික් වාහනවල මිලට වඩා වැඩි මිල ගණන් සඳහන් කරමින් අන්තර්ජාලයේ දැන්වීම් පළ වී ඇති බවත්, සමහර වාහනවල මිල රුපියල් ලක්ෂ 50කට ආසන්න ගණනකින් වැඩි කර ඇති බවත් වෙළඳපොළ නිරීක්ෂකයෝ පෙන්වා දෙනවා.
පාවිච්චි කළ වාහන අලෙවිකරුවන්, තම අලෙවි අර්බුදය විසඳා ගැනීම සඳහා මෙවැනි නොමග යවන උපක්‍රම භාවිතා කරමින් සිටින බවත්, මෙම තත්ත්වය සැලසුම් සහගතව සිදුවුවහොත් පාවිච්චි කළ වාහන මාෆියාව යළිත් හිස එසවීමට එය අනුබල දෙන බවත් Economy Next සඳහන් කරයි.
එම නිසා, මෙම අර්බුදයේදී ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශය වහාම මැදිහත් වී පාරිභෝගික අයිතිවාසිකම් සහ නිදහස් වෙළඳපොළ ආරක්ෂා කළ යුතු බව වෙළඳපොළ විශ්ලේෂකයින් අවධාරණය කරනවා.