ඔලුවිල් වරාය ප්‍රයෝජනයට ගත හැකි ආකාරය සම්බන්ධයෙන් ඉදිරි තීරණයක් ගැනීමට නව ශක්‍යතා අධ්‍යයනයක් සිදුකරන බව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පවසනවා.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
මෙම රැස්වීමේදී ඔලුවිල් ධීවර වරාය ක්‍රියාත්මක කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති අතර, නිසි අධ්‍යයනයන් නොමැතිව වරාය ඉදිකිරීමෙන් සිදුවූ හානිය නිවැරදි කිරීම සඳහා නව අධ්‍යයනයන් මත පදනම්ව අනාගත සැලසුම් සකස් කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසුවේ, නැගෙනහිර පළාතට ධීවර වරායක අවශ්‍යතාව සපුරාලීම සඳහා වාලච්චේන ප්‍රදේශයේ ධීවර වරාය 2026දී නව පහසුකම් සහිත පුළුල් ධීවර වරායක් බවට පත් කිරීමටත්, එම ප්‍රදේශයට අවශ්‍ය අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් පිහිටුවීමටත් සැලසුම් කර ඇති බවයි.
මෙම රැස්වීමේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ලංකා ධීවර සංස්ථාව ඈවර කිරීමට පවතින බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විමසීමක් කළා. එයට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, එම වාර්තා සත්‍ය නොවන බවත්, රජය එවැනි තීරණයක් ගෙන නොමැති බවත්ය.
තවද, ඔහු සඳහන් කළේ නොවැම්බර් 21 වන දින සිට සමස්ත ධීවර ප්‍රජාව සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපිත කරන බවයි. මෙය දායක විශ්‍රාම වැටුපක් වන අතර, ධීවර ප්‍රජාවට ඔවුන්ගේ දායකත්වයේ ප්‍රමාණය අනුව ප්‍රතිලාභ හිමිවනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.