ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පවසන්නේ, තම පියාගේ එකම ආශාව වූයේ තමන් දක්ෂ ක්‍රීඩකයෙක් ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කිරීම බවත්, එම සිහිනය අනිවාර්යයෙන්ම ඉෂ්ට කරන බවත්ය.
පියාගේ හදිසි වියෝව හේතුවෙන් ආසියානු කුසලානය අතරතුරදී දිවයිනට පැමිණි දුනිත් වෙල්ලාලගේ, ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ යළි එක්වීම සඳහා අද (සැප්තැම්බර් 20) අලුයම දිවයිනෙන් පිටත්ව යෑමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසුවා.
“පොඩි කාලයේ ඉඳන්ම තාත්තගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. එයාගේ එකම ආසාව මම හොඳ ක්‍රීඩකයෙක් වෙලා රට වෙනුවෙන් ක්‍රීඩා කරන එක. ඒ ආශාව මම අනිවාර්යයෙන් ඉෂ්ට කරනවා. ආසියානු කුසලානයේ අපට තව තරග තියෙනවා. මම මගේ කණ්ඩායමට 100%ක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා,” ඔහු පැවසුවා.
දුනිත් වැඩිදුරටත් කියා සිටියේ, මෙම අසීරු අවස්ථාවේදී පුහුණුකරු සනත් ජයසූරිය, නායක චරිත් අසලංක ඇතුළු කණ්ඩායමෙන් සහ සමස්ත ලාංකික ජනතාවගෙන් තමන්ට විශාල සහයෝගයක් ලැබුණු බවත්, එය තමනට විශාල ශක්තියක් වූ බවත්ය.
“පොඩි කාලේ ඉඳන් මගේ ක්‍රිකට් වෙනුවෙන් තාත්තා උදේ ඉඳන් රෑ වෙනකම් මගේ පස්සෙන්ම හිටියා. ඒ කැපකිරීම නිසා තමයි මම අද රට නියෝජනය කරන්නේ. තාත්තාගේ ආශාවල් මම දන්නවා. එයා වෙනුවෙන් ඒ සියල්ල ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.