ගාසා තීරයේ ඇති කර ගත් සාම ගිවිසුමක් යටතේ හමාස් සංවිධානය විසින් අද (ඔක්තෝබර් 13) ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබේ.
සම්පූර්ණ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු අද දිනයේ නිදහස් කිරීමට නියමිත අතර, ඔවුන්ගේ නම් ලැයිස්තුව හමාස් සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබුණි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම නිදහස් කිරීමේ පළමු අදියර යටතේ ප්‍රාණ ඇපකරුවන් 07 දෙනෙකු උතුරු ගාසා තීරයේදී රතු කුරුස සංවිධානය වෙත භාර දී ඇත. රතු කුරුස නිලධාරීන් විසින් මෙම පිරිස අනතුරුව ඊශ්‍රායල ආරක්ෂක අංශ වෙත භාර දෙනු ඇත.
නිදහස ලබන තම ඥාතීන් පිළිගැනීම සඳහා ඔවුන්ගේ පවුල් සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් ටෙල් අවීව් අගනුවරට එක් රැස් වී සිටින බව වාර්තා වේ.
හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට සමගාමීව, ඊශ්‍රායලය විසින්ද අද දින පලස්තීන සිරකරුවන් 1,718 දෙනෙකු නිදහස් කිරීමට නියමිතව තිබේ.
2023 ඔක්තෝබර් 07 වනදා හමාස් ප්‍රහාරයේදී ප්‍රාණ ඇපයට ගත් මුළු පුද්ගලයින් 251 දෙනාගෙන්, මීට පෙර 155 දෙනෙකු මුදා ගැනීමට හැකිව තිබූ අතර, තවත් 58 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වී තිබුණි. මෙම නව නිදහස් කිරීම, කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්තාව මධ්‍යයේ ඇති වූ වැදගත් මානුෂීය පියවරක් ලෙස සැලකේ.