ඉන්දියන් සාගරයේ යාත්‍රා කරමින් තිබූ, සම්බාධක පැනවූ “Aquila II” නමැති තෙල් නැවකට අමෙරිකානු හමුදා බලහත්කාරයෙන් ඇතුළු වී පරීක්ෂාවට ලක් කළ බව පෙන්ටගනය නිල වශයෙන් තහවුරු කර තිබේ. මෙම නෞකාව කැරිබියන් මුහුදේ සිට අඛණ්ඩව ලුහුබැඳ ඒමෙන් අනතුරුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
පෙන්ටගනය නිකුත් කළ නිවේදනයේ මෙම නෞකාව වෙනිසියුලාවට සම්බන්ධ දැයි සෘජුව සඳහන් කර නැතත්, වෙනිසියුලාව සිය බොරතෙල් ජාවාරම් සඳහා ව්‍යාජ ධජ යටතේ ක්‍රියාත්මක වන “සෙවනැලි නෞකා” (Shadow fleet) භාවිත කරන බවට ජාත්‍යන්තර චෝදනා පවතී.
නෞකා ගමන්මග නිරීක්ෂණය කරන ‘TankerTrackers.com’ වෙබ් අඩවියේ සම-නිර්මාතෘ සමීර් මදානි පවසන්නේ:
“මෙම ‘Aquila II’ නෞකාව පසුගිය මාසයේ වෙනිසියුලානු වෙරළෙන් පිටත් වූ නෞකා 16 න් එකක් බවයි.එය එවකට සිටි ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු පිටත් වූවකි.රුසියානු තෙල් ජාවාරමට සම්බන්ධ වීම නිසා මෙම නෞකාවට දැනටමත් අමෙරිකානු සම්බාධක පනවා ඇත.”
සඳුදා දින ලැබුණු දත්ත වාර්තා අනුව, වැටලීමට ලක්වන අවස්ථාව වන විට නෞකාව තුළ බොරතෙල් තොගයක් පටවා තිබී නැත. පැනමා ධජය යටතේ ලියාපදිංචි කර ඇති මෙම නෞකාව පරීක්ෂා කිරීමේ සහ බාධා කිරීමේ මෙහෙයුම හමුදාව විසින් සාර්ථකව සිදු කර ඇති බව දකුණු බලඇණිය (US Southern Command) තහවුරු කරයි.
කෙසේ වෙතත්, මෙම හදිසි වැටලීමට හේතුව හෝ ඉන් අනාවරණය කරගත් තොරතුරු පිළිබඳව වැඩිදුර ප්‍රකාශයක් නිකුත් කිරීම පෙන්ටගනය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.