පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා දැනට හිමිවන විශ්රාම වැටුප් ප්රතිලාභය අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට රාජ්ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ.
කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී නජිත් ඉන්දික මහතා සඳහන් කළේ, “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්රතිපත්ති ප්රකාශයට අනුව ජනතාවට ලබා දුන් ප්රධාන පොරොන්දුවක් ඉටු කරමින් මෙම පියවර ගත් බවයි.
මෙම නව පනත් කෙටුම්පත මගින් 1977 අංක 1 දරන පාර්ලිමේන්තු මන්ත්රී විශ්රාම වැටුප් පනත සම්පූර්ණයෙන්ම අහෝසි වීමට නියමිතය. ලබන සතියේදී පාර්ලිමේන්තුවේදී මෙය සම්මත වීමෙන් පසුව, මෙරට මන්ත්රීවරුන්ට විශ්රාම වැටුප් හිමිවීමේ ක්රමය නතර වනු ඇත.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ නජිත් ඉන්දික මහතා පෙන්වා දුන්නේ මෙම පියවර හරහා දේශපාලනය යනු වරප්රසාද ලබන තනතුරක් නොව “සේවයක්” බවට පත් කරන බවයි.
“මැතිවරණයට පෙර අප ලබා දුන් පොරොන්දු ඉටු කරමින් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා ගත් ඉතා වැදගත් පියවරක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. රටේ අනාගත ගමන් මග පිළිබඳව ජනතාවට සහතිකයක් ලබා දීමට මෙම ක්රියාවලිය හරහා හැකි වනු ඇතැයි අපි විශ්වාස කරනවා.”