ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් වහාම එකඟතාවකට පැමිණිය යුතු බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. වොෂින්ටනයේ පැවැති ‘සාම මණ්ඩල’ (Peace Council) පළමු රැස්වීමේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ නියමිත කාලය තුළ ගිවිසුමකට එළැඹීමට අපොහොසත් වුවහොත් ඉරානයට “ඉතා නරක දේවලට” මුහුණ දීමට සිදුවනු ඇති බවයි.
ජනාධිපති ට්‍රම්ප් සිය කොන්දේසි සපුරාලීම සඳහා ඉරානයට ලබා දී ඇත්තේ දින 10ත් 15ත් අතර කෙටි කාලයකි.
ට්‍රම්ප්ගේ ප්‍රකාශය: “ඉදිරි දින 10 තුළ ඔබට මේ ගැන බොහෝ තොරතුරු දැනගත හැකි වෙයි. මම හිතන්නේ ඒ සඳහා උපරිම දින 10ක කාලයක් ප්‍රමාණවත්.”
අමෙරිකාව පනවන කොන්දේසිවලට එකඟ නොවන්නේ නම් යුධමය ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ජනාධිපතිවරයා මෙහිදී වක්‍රව ඉඟි කර ඇත.
අමෙරිකානු තර්ජන හමුවේ පසුබට නොවන බව පෙන්වා දී ඇති ඉරානය ද ප්‍රති-ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
අමෙරිකාව සිය රටට ප්‍රහාරයක් එල්ල කළහොත් මැදපෙරදිග කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට දැවැන්ත ප්‍රහාර එල්ල කරන බවට ඉරානය පවසා ඇත.ඉරානය විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කර ඇත්තේ තමන් කිසිදු යුද්ධයක් ආරම්භ කිරීමට සූදානම් නැති බවයි.
කෙසේ වෙතත්, තම රට මිලිටරි ආක්‍රමණයකට ලක් වුවහොත් ආත්මාරක්ෂාව සඳහා ඕනෑම ප්‍රතිචාරයක් දැක්වීමට තමන්ට අයිතියක් ඇති බව ඉරානය එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.
මීට පෙර අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සාර්ථකව සිදුවන බව ජනාධිපති ට්‍රම්ප් පවසා තිබුණද, මෙම නවතම අනතුරු ඇඟවීමත් සමඟ කලාපීය නොසන්සුන්තාව යළිත් උච්චතම අවස්ථාවකට පැමිණ තිබේ. ඉදිරි දින 10 ලෝක දේශපාලනය තුළ අතිශය තීරණාත්මක වනු ඇතැයි විදෙස් විචාරකයෝ මත පළ කරති.