මෙරට දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක සංධිස්ථානයක් සනිටුහන් කරමින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත රජය විසින් නිල වශයෙන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
පසුගිය පෙබරවාරි 17 වනදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ මෙම පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තැබීමෙන් අනතුරුව මෙලෙස පනතක් ලෙස බලාත්මක වී ඇත.
නව පනතේ දැක්වෙන පරිදි මින් ඉදිරියට කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප් හිමිකම පවතින්නේ නැත. අදාළ ගැසට් නිවේදනයට අනුව පහත පනත් යටතේ මෙතෙක් වරප්‍රසාද භුක්ති විඳි අයට එම බලපෑම එල්ල වේ.
1977 අංක 01 දරණ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත.
1982 අංක 01 සහ 1990 අංක 47 දරණ පනත්වල 09 වන වගන්තිය යටතේ විශ්‍රාම වැටුප් ලැබීමට සුදුසුකම් ලබා ඇති පුද්ගලයින්.
මෙම පනත ක්‍රියාත්මක වන දිනයේ සිට සහ එම දිනයෙන් පසුව, විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම ඇති හෝ දැනටමත් විශ්‍රාම වැටුප් ලබමින් සිටින සියලුම තැනැත්තන්ගේ එම ගෙවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර වේ.
වසර ගණනාවක් පුරා මහජනතාව අතර දැඩි කතාබහට ලක්වූ “මන්ත්‍රී විශ්‍රාම වැටුප් ක්‍රමය” අහෝසි කිරීම හරහා රජයේ වියදම් කළමනාකරණය කිරීමට සහ දේශපාලනඥයින්ගේ වරප්‍රසාද සීමා කිරීමට අපේක්ෂිතය. මීට පෙර වසර 5ක කාලයක් මන්ත්‍රී ධූරය දැරූ අයට හිමිවූ මෙම ජීවිතාන්තය දක්වා වූ දීමනාව මින් ඉදිරියට සම්පූර්ණයෙන්ම ඉවත් කෙරෙනු ඇත.