සිරස්තල

විස්සයි-20 ලෝක කුසලාන අවසන් සටන් සඳහා ප්‍රවේශ පත්‍ර අද සිට

2026 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව වටයේ තරග සහ අවසන් මහා තරගය නැරඹීම සඳහා වන ප්‍රවේශ පත්‍ර අද (24) සිට නිකුත් කිරීමට

මිතුරන් සමග බෙදාගන්න

2026 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව වටයේ තරග සහ අවසන් මහා තරගය නැරඹීම සඳහා වන ප්‍රවේශ පත්‍ර අද (24) සිට නිකුත් කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ. ලොව පුරා විසිරී සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට tickets.t20worldcup.com වෙබ් අඩවිය ඔස්සේ මාර්තු 04 සහ 05 යන දිනවල පැවැත්වෙන අවසන් පූර්ව තරග සඳහා මෙන්ම මාර්තු 08 වනදා පැවැත්වෙන අවසන් මහා සටන සඳහා ද ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගත හැකිය.

පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය තීරණය කිරීමේදී විශේෂ ‘සංචලන ක්‍රමවේදයක්’ (Floating Venue) අනුගමනය කිරීමට අයි.සී.සී. පියවර ගෙන ඇති අතර, එය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය හෝ කොල්කටා ඊඩන් ගාර්ඩන්ස් ක්‍රීඩාංගණය අතර තීරණය වනු ඇත. ඒ අනුව පාකිස්ථානය අවසන් පූර්ව වටයට පිවිසෙන්නේ නම් ඔවුන් කොළඹදී තරග වැදීමට නියමිතය. එසේම, පාකිස්ථානය සුදුසුකම් නොලබන අවස්ථාවක ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව හැර වෙනත් ප්‍රතිවාදියෙකු සමඟ ගැටෙන්නේ නම් එම තරගය ද කොළඹදී පැවැත්වෙනු ඇත. මෙම අවස්ථා දෙකම මඟ හැරී ගියහොත් හෝ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවසන් පූර්ව සටනක් නිර්මාණය වුවහොත්, පළමු අවසන් පූර්ව තරගය කොල්කටාහිදී පැවැත්වේ.

දෙවන අවසන් පූර්ව තරගය මාර්තු 05 වැනිදා මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, අවසන් මහා තරගය පැවැත්වෙන ස්ථානය ද පාකිස්ථාන කණ්ඩායමේ ජයග්‍රහණය මත තීරණය වනු ඇත. ඔවුන් අවසන් මහා තරගයට පිවිසෙන්නේ නම් එය කොළඹදී පැවැත්වෙන අතර, එසේ නොමැති නම් අහමදාබාද්හිදී පැවැත්වේ. යම් හෙයකින් ක්‍රීඩාංගණ මාරුවක් හේතුවෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගත් ස්ථානයේ තරගය නොපැවැත්වෙන්නේ නම්, එම මුදල් ප්‍රේක්ෂකයින්ට නැවත ගෙවීමට (Refund) බලධාරීන් පොරොන්දු වී තිබේ.

මේ වන විට ‘සුපිරි 8’ වටය උණුසුම් වෙමින් පවතින අතර, පළමු කාණ්ඩයෙන් බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව පෙරමුණේ පසුවේ. දෙවන කාණ්ඩයෙන් එංගලන්තය ඉදිරියෙන් සිටින අතර, නවසීලන්තය සහ පාකිස්ථානය අතර පැවති තරගය වර්ෂාවට හේතුවෙන් අතහැර දැමීම නිසා එම කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණ බැගින් හිමි විය. ඒ අනුව අවසන් හතර දෙනාගේ වටයට තේරී පත්වන කණ්ඩායම් පිළිබඳ නිශ්චිත චිත්‍රය ඉදිරි දින කිහිපයේදී තීරණය වනු ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්