ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර පවතින දේශසීමා ගැටුම් උච්චතම අවස්ථාවකට පත්වෙමින්, පාකිස්ථාන ගුවන් හමුදාව විසින් කාබුල් අගනුවර පිහිටි තලේබාන් හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ප්‍රබල බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ.දෙරට අතර සති කිහිපයක සිට පවතින උණුසුම්කාරී වාතාවරණය මධ්‍යයේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම තත්ත්වය හුදෙක් දේශසීමා ගැටුමකට වඩා එහා ගිය “විවෘත යුද්ධයක්” (Open War) බවට පාකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ කලාපීය ආරක්ෂාව පිළිබඳ බරපතළ තත්ත්වයක් උද්ගතව ඇත.
පාකිස්ථානය විසින් ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන නගර වන කාබුල් සහ කන්දහාර් යන කලාප ඉලක්ක කරගනිමින් මෙම ගුවන් ප්‍රහාර මාලාව දියත් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්පූර්ණයෙන්ම බිඳ වැටීමේ අවදානමක් පවතින අතර, තලේබාන් පාලනය මෙම ප්රහාරයන්ට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳව ලෝක අවධානය යොමුව තිබේ.
මෙම යුදමය තත්ත්වය හේතුවෙන් දේශසීමා ආශ්‍රිතව වෙසෙන සිවිල් වැසියන් දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බවද සඳහන් වේ.