මැදපෙරදිග කලාපයේ රටවල් සියල්ලේම ගුවන් අවකාශයන් හදිසියේ වසා දැමීම හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට එම කලාපය බලා පිටත්වීමට නියමිතව තිබූ සියලුම ගුවන් ගමන් අද (01) පස්වරු 5:00 දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.මෙම තත්ත්වය මත අද උදෑසන වන විට කටුනායකින් පිටත්වීමට නියමිතව තිබූ ගුවන් ගමන් 25ක් සහ මෙරටට පැමිණීමට තිබූ ගුවන් ගමන් 18ක් සම්පූර්ණයෙන්ම අවලංගු කර ඇති බව ගුවන්තොටුපළ බලධාරීහු තහවුරු කරති.
ඊයේ (28) රාත්‍රියේ මැදපෙරදිග බලා පියාසර කළ ෆිට්ස් එයාර් සහ එයාර් ඇරේබියා යන ගුවන් යානා දෙකකට ද ගුවන් අවකාශය අවහිර වීම නිසා අතරමඟ සිට යළි කටුනායක වෙත හැරී ඒමට සිදුව ඇත.
මේ හේතුවෙන් මැදපෙරදිග රටවල් හරහා වෙනත් ගමනාන්ත වෙත යෑමට සැලසුම් කර ඇති මගීන්ට උපදෙස් දෙන්නේ, ගුවන්තොටුපළ වෙත පැමිණීමට පෙර තමන්ගේ ගුවන් සේවා නියෝජිතයා සම්බන්ධ කර ගන්නා ලෙස හෝ www.airport.lk නිල වෙබ් අඩවිය හරහා ගුවන් ගමන් තොරතුරු යාවත්කාලීන කර ගන්නා ලෙසයි.
පවතින ගුවන් ගමන් අවහිරතාවය හේතුවෙන් මෙරටින් බැහැර වීමට නොහැකිව ලැගුම්ගෙන සිටින විදේශිකයන් වෙනුවෙන් ආගමන විගමන පාලක ජනරාල්වරයා විසින් දින 7ක අතිරේක වීසා සහන කාලයක් ලබා දී තිබේ. කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපය හරහා ගමන් නොකරන ඕස්ට්‍රේලියාව, චීනය, එංගලන්තය, ප්‍රංශය සහ ඉන්දියාව ඇතුළු රටවල් රැසක ගුවන් මෙහෙයුම් කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.