2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයෙන් ඉවතට විසිවූ සිම්බාබ්වේ කණ්ඩායමට යළි සිය මව්බිම බලා පිටත්ව යාමට නොහැකිව දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව වාර්තා වේ. ඊයේ (01) දකුණු අප්‍රිකාව හමුවේ ලැබූ පරාජයත් සමඟ ඔවුන්ගේ ලෝක කුසලාන ගමන් මඟ නිමාවට පත් විය.
කණ්ඩායම අද (01) අලුයම එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් ඩුබායි හරහා හරාරේ නුවර බලා යෑමට සැලසුම් කර තිබුණද, මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ගුවන් පථ වසා දැමීම නිසා එම ගමන අවලංගු කර තිබේ. මේ හේතුවෙන් සිම්බාබ්වේ ක්‍රීඩකයින්ට සහ නිලධාරීන්ට තාවකාලිකව මෙරට රැඳී සිටීමට සිදුව ඇත.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සහ අදාළ බලධාරීන් මේ වන විට ක්‍රීඩකයින් ආරක්ෂිතව සිය රට බලා පිටත් කර හැරීමට ඇති විකල්ප මාර්ග සහ ගුවන් ගමන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව ද තොරතුරු වාර්තා වේ. කලාපීය ගුවන් අවකාශයන් යළි විවෘත වන තෙක් හෝ විකල්ප ගමනාන්තයක් ලැබෙන තෙක් ඔවුන්ට මෙරට රැඳී සිටීමට සිදුවනු ඇත.