ඉරානයේ ආරක්ෂක මූලෝපායන් සකස් කරන ප්‍රධානතම නිලධාරියා මෙන්ම උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ (SNSC) ලේකම්වරයා වූ අලි ලරිජානි (Ali Larijani) ඊශ්‍රායල ප්‍රහාරයකින් ඝාතනය වී ඇති බව ඉරානය නිල වශයෙන් තහවුරු කර තිබේ. ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය අද (18) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙම මරණය තහවුරු කළ අතර, ඔහු ඉරානයේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඉටුකළ සේවය දැඩි ඇගයීමකට ලක් කර ඇත.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ (17) ප්‍රකාශ කර තිබුණේ ඉරාන ආරක්ෂක ව්‍යුහයේ තීරණාත්මක පුරුකක් වූ ලරිජානි ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරය සාර්ථක වූ බවයි. 2025 අගෝස්තු මාසයේදී ආරක්ෂක කවුන්සිලයේ ලේකම් ධුරයට පත් වූ ඔහු, ඉරාන ජනාධිපතිවරයාගේ මෙන්ම නැසීගිය උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ද සමීපතම නියෝජිතයෙකු ලෙස කටයුතු කළ ප්‍රබල දේශපාලන චරිතයකි.
ඉරානයේ යුදමය තීරණ ගන්නා ඉහළම නිලධාරියා ඝාතනය වීම වත්මන් කලාපීය යුද තත්ත්වයට සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පවසති. මෙම සිදුවීමත් සමඟ ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම තවදුරටත් දරුණු අතට හැරීමේ අවදානමක් පවතින අතර, ඉරානය විසින් මීට එල්ල කරනු ලබන ප්‍රතිප්‍රහාර කෙබඳු විය හැකිද යන්න පිළිබඳව ලෝක අවධානය යොමු වී තිබේ.