සති තුනකට අධික කාලයක් ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර හමුවේ ඉරානයේ යුද ශක්තිය සහ ජ්‍යෙෂ්ඨ නායකත්වය මුළුමනින්ම බිඳ වැටී ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ‘ද වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත වාර්තා කරන පරිදි, ඉරානය සමඟ පැවති යුද්ධය ඇමෙරිකාව දැනටමත් ජයගෙන ඇති බවත්, එරට පාලන තන්ත්රය වෙනස් කිරීමේ අරමුණ සාක්ෂාත් වී ඇති බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
මෙම යුදමය වාතාවරණය සමනය කිරීම සඳහා ඊජිප්තුව, පාකිස්ථානය සහ තුර්කිය යන රටවල් මැදිහත් වී ඇති අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සහ සටන් විරාමයක් ඇති කිරීම පිළිබඳව මේ වන විට මූලික මට්ටමේ සාකච්ඡා ආරම්භ වී ඇත.
මෙම තීරණාත්මක සාකච්ඡා සඳහා ජනාධිපති ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජැරඩ් කුෂ්නර්, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඇතුළු ප්‍රබල දූත පිරිසක් එක්ව සිටිති. තමන් සාකච්ඡා පවත්වන්නේ ඉරානයේ “නිවැරදි පුද්ගලයන්” සමඟ බව තහවුරු කිරීමට සාක්ෂියක් ලෙස, ඉරාන පාර්ශවයෙන් තමන්ට විශේෂ “තෑග්ගක්” ලැබුණු බව ජනාධිපතිවරයා අනාවරණය කළේය.
එම තෑග්ග පිළිබඳව වැඩිදුර විස්තර හෙළි නොකළද, එය “තෙල් සහ ගෑස්” ක්ෂේත්රයට සම්බන්ධ ඉතා ඉහළ වටිනාකමකින් යුත් එකඟතාවක් බව ‘ද වොෂින්ටන් පෝස්ට්’ වාර්තා කරයි. මෙය මැදපෙරදිග බලශක්ති අර්බුදයට ස්ථිර විසඳුමක් ලැබීමේ පෙරනිමිත්තක් ලෙස දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ඉරාන නායකයන්ගේ අනන්‍යතාවය මෙතෙක් නිල වශයෙන් හෙළි කර නොමැති වුවද, ඇමෙරිකාව සමඟ ඇති කරගත් මෙම නව එකඟතාවන් හමුවේ පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින තර්ජනාත්මක ස්වරූපය පහව යනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම ගෝලීය තෙල් වෙළෙඳපොළ යථා තත්ත්වයට පත්වීම කෙරෙහි මෙම සාකච්ඡා සෘජුවම බලපානු ඇත.