ඔස්ට්‍රේලියානු ආයෝජකයන්ට ශ්‍රී ලංකාවෙන් ඇරයුම්

ශ්‍රී ලංකාව ආයෝජනය සඳහා ආරක්ෂිත මෙන්ම හිතකර ගමනාන්තයක් බැවින්, මෙරට ආයෝජන අවස්ථාවන් සඳහා එක්වන ලෙස ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික ප්‍රජාවට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා නිල වශයෙන්

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකාව ආයෝජනය සඳහා ආරක්ෂිත මෙන්ම හිතකර ගමනාන්තයක් බැවින්, මෙරට ආයෝජන අවස්ථාවන් සඳහා එක්වන ලෙස ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික ප්‍රජාවට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා නිල වශයෙන් ඇරයුම් කර තිබේ. ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා සහ කථානායකවරයා අතර පසුගියදා පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම අදහස් පළ විය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූවාය. දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ඔස්ට්‍රේලියාව ලබා දෙන දීර්ඝකාලීන සහයෝගය අගය කළ කථානායකවරයා, මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව පිළිබඳව ද සහතික විය.

ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් පුළුල් කිරීමට ඔස්ට්‍රේලියාවේ කැපවීම මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා මෙහිදී යළි තහවුරු කළේය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ පරිප්පු ඇතුළු ඔස්ට්‍රේලියානු කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා පවතින ඉල්ලුම පෙන්වා දුන් ඒ මහතා, දෙරට අතර කෘෂිකාර්මික වෙළෙඳාම තවදුරටත් වර්ධනය කිරීමේ ඇති හැකියාව පිළිබඳව ද අවධානය යොමු කළේය.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පවතින පෞරාණික මිත්‍රත්වය පිළිබිඹු කරමින්, ඉදිරියේදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට දෙපාර්ශ්වයම මෙහිදී එකඟතාව පළ කර තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්