ඉරානයේ බලශක්ති පද්ධතිය ඉලක්ක කර ගනිමින් එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර තවදුරටත් අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. ඒ අනුව, මීට පෙර ලබා දී තිබූ සහන කාලය එළඹෙන අප්‍රේල් මස 06 වනදා දක්වා දින දහයකින් (10) දීර්ඝ කරන බව ජනාධිපතිවරයා නිල වශයෙන් ප්‍රකාශ කළේය.
Fox News නාලිකාව සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ, ඉරාන පාර්ශ්වය සිය නියෝජිතයන් හරහා දින හතක අමතර කාලයක් ඉල්ලා සිටි නමුත්, තමන් ඔවුන්ට දින දහයක කාලයක් ලබා දුන් බවයි. ටෙහෙරාන් පාලනය මෙම තීරණය පිළිබඳව සිය කෘතඥතාව පළ කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම කාලය දීර්ඝ කිරීමට හේතු වූ විශේෂ කරුණක් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය. සාකච්ඡා අතරතුරදී ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධියේ රඳවාගෙන සිටි තෙල් නැව් අටක් (08) නිදහස් කර ඇති අතර, එය තමන්ට ලැබුණු විශේෂ “තෑග්ගක්” බව ට්‍රම්ප් මහතා අවධාරණය කළේය.
ධවල මන්දිරයේ පැවති කැබිනට් රැස්වීමකදී ඔහු පවසා සිටියේ, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ටැංකිවලට ගමන් කිරීමට ඉඩ ලබා දීම මගින් ඉරානය සාධනීය ප්‍රවේශයක් පෙන්වා ඇති බවයි. මේ හේතුවෙන් දෙරට අතර පැවැත්වෙන රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා “තරමක් හොඳින්” සිදුවෙමින් පවතින බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, අමෙරිකානු ජනාධිපතිවරයා පවසන මෙම සාකච්ඡා පිළිබඳව ඉරාන පාර්ශ්වයෙන් ලැබෙන්නේ වෙනත් ප්‍රතිචාරයකි. යුද්ධය අවසන් කිරීමේ අරමුණින් අමෙරිකාව සමඟ කිසිදු නිල සාකච්ඡාවක නිරත නොවන බව ඉරාන බලධාරීන් තවදුරටත් අවධාරණය කරයි.
මෙම සහන කාලය අවසන් වන අප්‍රේල් 06 වනදායින් පසු මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය කුමන අතට හැරෙනු ඇත්දැයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ දැඩි අවධානයෙන් පසුවෙති.