මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ඕනෑම අභියෝගයකදී සහය වීමට රුසියාව සූදානම් බව මෙරට සංචාරයක නිරත රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් (Roman Marshavin) මහතා සහතික වෙයි. ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
බලශක්ති ක්ෂේත්‍රයට පමණක් සීමා නොවී, තාක්ෂණික උපදෙස් සහ යන්ත්‍රෝපකරණ සැපයීම ඇතුළු විවිධ අංශ ඔස්සේ මෙරටට අවශ්‍ය සහයෝගය ලබාදීමට රුසියානු රජය කැපවී සිටින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.
ජනාධිපතිවරයා හමුවීමට ප්‍රථම රුසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යවරුන් වන ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ කුමාර ජයකොඩි යන මහත්වරුන් ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් සමඟ ද සාකච්ඡා පවත්වනු ලැබීය.
මෙම සාකච්ඡාවල වඩාත්ම වැදගත් ප්‍රතිඵලය වී ඇත්තේ, පිරිපහදු කළ රුසියානු ඉන්ධන මෙරටට ලබාදීමට රුසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා එකඟත්වය පළ කිරීමයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කළේ, මෙම එකඟතාවය මෙරට බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කිරීමට මහෝපකාරී වනු ඇති බවයි.
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය මෙම අසීරු අවස්ථාවේදී තවදුරටත් තහවුරු වී තිබේ. මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුම් ජාලයන් අඩාල වීමේ අවදානමක් පවතින පසුබිමක, රුසියාවෙන් ලැබෙන මෙම සහතිකය මෙරට ආර්ථික ස්ථාවරත්වයට ඉතා වැදගත් වේ.