මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ඉහළ යන ජීවන වියදම් පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු රජය තීරණාත්මක පියවරක් ගෙන තිබේ. ඒ අනුව එළඹෙන අප්‍රේල් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මාස තුනක කාලයක් සඳහා ඉන්ධන මත පනවා ඇති බදු මුදල අඩකින් (50%) අඩු කිරීමට එරට රජය තීරණය කර ඇත.
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සිය ‘X’ ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ජූලි මාසය දක්වා බලපැවැත්වෙන මෙම සහනය මගින් එරට ජනතාවගේ ගෘහස්ථ වියදම් අවම කර ගැනීමට අවස්ථාව ලැබෙන බවයි. මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයන්ට එල්ල කරන පීඩනය සමනය කිරීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම බදු සංශෝධනයත් සමඟ ඉන්ධන ලීටරයක මිල ඔස්ට්‍රේලියානු ශත 26.3 කින් පමණ පහත වැටෙනු ඇත. දැනට ඉන්ධන ලීටරයක් සඳහා අය කෙරෙන ශත 52.6 ක බද්ද නව තීරණයත් සමඟ ශත 26.3 ක් දක්වා අඩු වේ.
මීට අමතරව, ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියුතු පිරිස් වෙත තවදුරටත් සහන සැලසීම සඳහා බර වාහන රියදුරන්ගෙන් අය කරනු ලබන ‘මාර්ග පරිශීලක ගාස්තුව’ (Road User Charge) ද ඉදිරි මාස තුනක කාලය සඳහා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අග්‍රාමාත්‍යවරයා පියවර ගෙන තිබේ.
ලෝක බලශක්ති අර්බුදය හමුවේ තම රටේ ආර්ථිකය ස්ථාවරව තබා ගැනීමට ඔස්ට්‍රේලියාව ගත් මෙම පියවර ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇත. මෙම සහන කාලසීමාව තුළ එරට වෙළෙඳපොළේ භාණ්ඩ හා සේවා මිල ගණන් ද යම් මට්ටමකින් ස්ථාවර වනු ඇතැයි ආර්ථික විචාරකයෝ අපේක්ෂා කරති.