ඉරානයට එරෙහිව ක්‍රියාත්මක ඇමෙරිකානු හමුදා මෙහෙයුම්වල මූලික අරමුණු බොහොමයක් මේ වන විටත් සාර්ථක වී ඇති බවත්, එම සමස්ත ක්‍රියාවලිය ඉදිරි සති කිහිපය තුළ අවසන් කරන බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. අද (02) වොෂින්ටනයේ සිට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු අවධාරණය කළේ, ඉරානය සම්බන්ධයෙන් ඇමෙරිකාව සැලසුම් කළ ඉලක්ක “සම්පූර්ණ වීමට ආසන්න” මට්ටමක පවතින බවයි.
ඉදිරි සති දෙකක හෝ තුනක කාලය තුළ ඉරානයේ සියලුම විදුලි බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් අතිප්රබල ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය. මෙම දැවැන්ත ප්‍රහාර මාලාව හරහා ඉරානය නැවතත් “ශිලා යුගය” දක්වා ආපස්සට ඇද දමන බවට ඔහු දැඩි අනතුරු ඇඟවීමක් ද සිදු කළේය.
හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ඉරානය දරන උත්සාහයන් සහ කලාපීය අස්ථාවරත්වය මධ්‍යයේ ජනාධිපති ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කර ඇත. ඉරාන බලධාරීන් වහාම සාකච්ඡා මේසයට නොපැමිණෙන්නේ නම්, එරට පවතින සියලුම ප්‍රධාන යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට තමන් පසුබට නොවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ඇමෙරිකානු හමුදා අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දැන් ඉතිරිව ඇත්තේ ඉතා සුළු කාලයක් පමණක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය තීරණාත්මක මෙන්ම භයානක අදියරකට එළඹ ඇති බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පවසති.