මැදපෙරදිග යුද ගින්නට තාවකාලික නිවීමක්

ලෝක වෙළෙඳපොළ සහ බලශක්ති සුරක්ෂිතතාව දැඩි අර්බුදයකට ලක් කරමින් පැවති අමෙරිකා – ඉරාන ගැටුම්කාරී වාතාවරණය මධ්‍යයේ, සති දෙකක කාලසීමාවක් සඳහා තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත්

මිතුරන් සමග බෙදාගන්න

ලෝක වෙළෙඳපොළ සහ බලශක්ති සුරක්ෂිතතාව දැඩි අර්බුදයකට ලක් කරමින් පැවති අමෙරිකා – ඉරාන ගැටුම්කාරී වාතාවරණය මධ්‍යයේ, සති දෙකක කාලසීමාවක් සඳහා තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට දෙපාර්ශවයම එකඟතාව පළ කර තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය Truth Social ගිණුම හරහා නිල සටහනක් තබමින් මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය.

මෙම සටන් විරාමය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් ප්‍රධාන කොන්දේසියක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව ඉරානය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සම්පූර්ණයෙන්ම සහ ආරක්ෂිතව විවෘත කිරීමට එකඟ විය යුතුය.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ යෝජනාවට ප්‍රතිචාර දක්වමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා සඳහන් කළේ, ඉරානයට එරෙහිව එල්ල වන ප්‍රහාර නතර කරන්නේ නම් තමන් ද සටන් විරාමයකට සූදානම් බවයි. ඒ අනුව:

  • ඉදිරි සති දෙකක කාලය තුළ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකාවලට ආරක්ෂිතව ගමන් කිරීමට අවස්ථාව සැලසේ.

  • අමෙරිකානු ප්‍රහාර නතර වන්නේ නම් ඉරාන සන්නද්ධ හමුදා ද සියලු ආරක්ෂක මෙහෙයුම් අත්හිටුවීමට පියවර ගනු ඇත.

ලෝකයේ තෙල් සහ ගෑස් අවශ්‍යතාවයෙන් විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන ප්‍රධානතම මුහුදු මාර්ගය වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වීමත් සමඟ, පසුගිය දින කිහිපයේ ඉහළ ගිය ඉන්ධන මිල ගණන් යථා තත්ත්වයට පත් වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අපේක්ෂා කරති.

මෙම සති දෙකක කාලසීමාව යනු හුදෙක් සටන් විරාමයක් පමණක් නොව, දෙපාර්ශවය අතර පවතින ගැටුම් ස්ථීර ලෙස අවසන් කිරීම සඳහා වන රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කිරීමට ලැබුණු වටිනා අවස්ථාවක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව සලකයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්