අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබියදීත්, අද (08) අලුයම් කාලයේ ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානය ඉලක්ක කර ගනිමින් ප්‍රබල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. ඊශ්‍රායලයේ ‘චැනල් 12’ පුවත් සේවය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉරානය විසින් දිගින් දිගටම ඊශ්‍රායලය වෙත එල්ල කරන මිසයිල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.
මෙම ගුවන් ප්‍රහාරවල ප්‍රධාන ඉලක්ක වී ඇත්තේ ඉරානය සතු මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන සහ උපායමාර්ගික හමුදා කඳවුරු බව වාර්තා වේ.
සටන් විරාම බලාපොරොත්තු සුන් කරමින් අද අලුයම මැදපෙරදිග කලාපය පුරා දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ. මේ හේතුවෙන් රටවල් කිහිපයකම ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වී ඇති අතර ජනතාව දැඩි භීතියට පත්ව සිටිති:
කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය: තම ගුවන් සීමාවට ඇතුළු වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර සාර්ථකව මැඩපැවැත්වීමට කටයුතු කරන බව එම රටවල හමුදා ප්‍රකාශකයෝ තහවුරු කළහ.
බහරේනය: හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කරමින් සිය වැසියන්ට වහාම ආරක්ෂිත ස්ථාන (Bunkers) වෙත යන ලෙස උපදෙස් දී තිබේ.
සෞදි අරාබිය: එරට අල්-කර්ජ් (Al-Kharj) ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් හදිසි ආරක්ෂක නිවේදන නිකුත් කර ඇත.
ඊයේ ප්‍රකාශයට පත් කළ සටන් විරාමය පැය කිහිපයක් ඇතුළත මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස බිඳ වැටීමත් සමඟ, මැදපෙරදිග කලාපය පුරා පූර්ණ පරිමාණයේ යුද්ධයක් ඇවිලී යාමේ අවදානම යළිත් උත්සන්න වී තිබේ. කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය පුරා තවමත් අනතුරු ඇඟවීමේ සයිරන් නාද ඇසෙමින් පවතින බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.