පකිස්ථානයේ රාජ්ය තාන්ත්රික ඉල්ලීමකට ප්රතිචාර දක්වමින් ඉරානය සමඟ පවතින සටන් විරාමය තාවකාලිකව දීර්ඝ කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තීරණය කර තිබේ. කෙසේ වෙතත්, ඉරාන වරායන් ඉලක්ක කර ගනිමින් පනවා ඇති නාවික අවහිර කිරීම් (Blockades) ලිහිල් නොකරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මෙම තීරණය ගනු ලැබුවේ ඉරානයේ පවතින දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය දැඩි ලෙස බිඳ වැටී ඇති පසුබිමක වීම විශේෂත්වයකි.
පකිස්ථාන අග්රාමාත්ය ෂෙහ්බාස් ෂරීෆ් සහ ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් යන මහත්වරුන් කළ විශේෂ ඉල්ලීමක් මෙම තීරණයට පදනම වී ඇත. දෙපාර්ශ්වයටම එකඟ විය හැකි ඒකාබද්ධ යෝජනාවලියක් ඉදිරිපත් කරන තෙක් ඉරානයට එල්ල කරන හමුදා ප්රහාර නතර කරන ලෙස ඔවුන් අමෙරිකාවෙන් ඉල්ලා තිබේ.
යෝජනා ඉදිරිපත් කර සාකච්ඡා නිමවන තෙක් ප්රහාර නතර කළද, අමෙරිකානු හමුදාව දැඩි සූදානමකින් පසුවිය යුතු බවට ජනාධිපති ට්රම්ප් උපදෙස් දී ඇත.
“ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කර සාකච්ඡා අවසන් වන තෙක් මම සටන් විරාමය දීර්ඝ කරනවා. නමුත් වරාය අවහිර කිරීම් දිගටම කරගෙන යන ලෙසත්, අනෙකුත් සෑම අංශයකින්ම සූදානමින් සිටින ලෙසත් මම අපේ හමුදාවට නියෝග කළා,” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම තාවකාලික සටන් විරාමය හරහා මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති දැඩි යුදමය ආතතිය යම් ප්රමාණයකට සමනය වනු ඇතැයි විදේශ දේශපාලන විචාරකයෝ විශ්වාසය පළ කරති. එහෙත් වරාය අවහිර කිරීම දිගටම පැවතීම හේතුවෙන් ඉරානයට එල්ල වන ආර්ථික පීඩනය තවදුරටත් දැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.