බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින සිය සිව්දින නිල සංචාරය ආරම්භ කරමින් අද (27) අමෙරිකා එක්සත් ජනපදය වෙත ළඟා වීමට නියමිතය. 2007 වසරෙන් පසු බ්‍රිතාන්‍ය රාජ්‍ය නායකයෙකු අමෙරිකාවේ සිදුකරන පළමු නිල සංචාරය මෙය වන අතර, එය අමෙරිකාවේ 250 වන නිදහස් සංවත්සර සැමරුමට සමගාමීව සංවිධානය කර තිබීම විශේෂත්වයකි.
අමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති ශ්‍රීමත් ක්‍රිස්ටියන් ටර්නර් මහතා සඳහන් කළේ, දෙරට අතර පවතින ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බවයි.
අද පස්වරුවේ වොෂින්ටන් නුවරින් ආරම්භ වන මෙම සංචාරය දින හතරක් පුරා ක්‍රියාත්මක වේ. එහිදී:
ධවල මන්දිර පිළිගැනීම: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් මහත්මිය විසින් රාජකීය යුවළ ධවල මන්දිරයේදී නිල වශයෙන් පිළිගනු ලබයි.
ද්විපාර්ශ්වික සාකච්ඡා: චාල්ස් රජු සහ ජනාධිපති ට්‍රම්ප් අතර ඕවල් කාර්යාලයේදී (Oval Office) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
රාජ්‍ය භෝජන සංග්‍රහය: රාජකීය යුවළ වෙනුවෙන් ධවල මන්දිරයේදී විශේෂ රාජ්‍ය භෝජන සංග්‍රහයක් ද පැවැත්වේ.
මැදපෙරදිග යුද වාතාවරණය හේතුවෙන් මතු වූ යම් යම් රාජ්‍ය තාන්ත්‍රික මතභේද මධ්‍යයේ වුව ද, මෙම සංචාරය සැලසුම් කළ පරිදිම පැවැත්වීම හරහා අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය අතර පවතින “සුවිශේෂී සබඳතාව” (Special Relationship) ලොවටම ප්‍රදර්ශනය කෙරෙන බව දේශපාලන විචාරකයෝ පවසති.
වොෂින්ටන් සංචාරයෙන් අනතුරුව රාජකීය යුවළ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට ද සැලසුම් කර ඇති අතර, අනතුරුව චාල්ස් රජු සිය ප්‍රථම බර්මියුඩා නිල සංචාරයට ද එක්වනු ඇත.