ඉන්ධන මිල ගණන් ඉහළ ගියද මේ අවස්ථාවේදී බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බස් ගාස්තු සංශෝධනය කරනු ලබන්නේ දැනට ක්‍රියාත්මක වන නිල බස් ගාස්තු සංශෝධන සමීකරණයට අනුව පමණක් බවයි. ඒ අනුව ඉන්ධන මිල වෙනස්වීම් මත බස් ගාස්තු සංශෝධනයක් සිදුවීමට නම්, එම මිල වෙනස සියයට 4කට වඩා වැඩි මට්ටමක පැවතිය යුතුය.
“තෙල් මිල වැඩිවීමත් එක්කම බස් ගාස්තු වැඩිවීමක් වෙන්නේ නැහැ. බස් ගාස්තු වැඩිවෙන්නේ සමීකරණයට අනුවයි. මෙවර ඉන්ධන මිල වැඩිවීම එම සියයට 4 සීමාව ඉක්මවා ගොස් නැහැ. ඒ නිසා මෙවර බස් ගාස්තු වැඩි කිරීමක් සිදු වෙන්නේ නැහැ,” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.