ඕමාන් මුහුදේ නෞකා තුනකට ප්‍රහාර

ඕමානය ආසන්න මුහුදු කලාපයේ ගමන් ගත් වාණිජ නෞකා තුනක් ඉලක්ක කර පසුගිය දින කිහිපය තුළ එල්ල වූ ප්‍රහාර මාලාව හේතුවෙන් කලාපීය නාවික ගමනාගමනය දැඩි අර්බුදයකට

මිතුරන් සමග බෙදාගන්න

ඕමානය ආසන්න මුහුදු කලාපයේ ගමන් ගත් වාණිජ නෞකා තුනක් ඉලක්ක කර පසුගිය දින කිහිපය තුළ එල්ල වූ ප්‍රහාර මාලාව හේතුවෙන් කලාපීය නාවික ගමනාගමනය දැඩි අර්බුදයකට ලක්ව තිබේ. මෙහි නවතම සිදුවීම ලෙස අද (11) ඉන්දීය නාවිකයන් 20 දෙනෙකු රැගත් ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වූ අතර, එහි එන්ජින් කාමරය සහ දුම් නළ ප්‍රදේශයේ විශාල ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් එහි සිටි නාවිකයින්ගේ තත්ත්වය පිළිබඳව මෙතෙක් නිල තොරතුරු අනාවරණය වී නැත.

මේ අතර, පසුගිය බදාදා (ජූනි 08) ඕමාන් බොක්කේදී ඇමෙරිකානු හමුදා ප්‍රහාරයකට ලක් වූ ‘MT Settebello’ තෙල් නෞකාවේ සිට අතුරුදන් වූ ඉන්දීය නාවිකයින් තිදෙනාම මියගොස් ඇති බව ඉන්දීය බලධාරීන් තහවුරු කර ඇත. ඇමෙරිකානු මධ්‍යම විධානය පවසන්නේ, අදාළ නෞකාව ඉරානයේ සිට තෙල් ප්‍රවාහනය කරමින් ඇමෙරිකානු නාවික අවහිර කිරීම් උල්ලංඝනය කළ බැවින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය දැඩි විරෝධය පළ කර ඇති අතර, නවදිල්ලියේ පිහිටි ඇමෙරිකානු දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානියා කැඳවා මේ පිළිබඳව කරුණු විමසා තිබේ. මීට පෙර ජූනි 08 වැනිදා ද ‘The Marivex’ නෞකාව ප්‍රහාරයකට ලක් වූ අතර එහි සිටි ඉන්දීය නාවිකයින් 24 දෙනා ඕමාන හමුදාව විසින් බේරාගනු ලැබීය. සතියක් තුළ සිදුවූ මෙම තෙවන ප්‍රහාරයත් සමඟ හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ආරක්ෂක තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවෙයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්