ස්ත්‍රී දූෂණ චෝදනා දෙකකට වැරදිකරු වූ නෝර්වේහි ඔටුන්න හිමි මෙට්-මැරිට් (Mette-Marit) කුමරියගේ පුත්‍රයා වන 29 හැවිරිදි මාරියස් බෝර්ග් හොයිබි (Marius Borg Høiby) හට වසර හතරක සිර දඬුවමක් නියම කර තිබේ.
නඩු විභාගයේ විනිසුරුවරුන් තිදෙනාගෙන් එක් අයෙකු වන විනිසුරු ජෝන් ස්වර්ඩ්‍රප් එෆ්ජෙස්ටාඩ් (John Sverdrup Fjestad) මහතා පිටු 128 කින් යුත් දීර්ඝ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර, අද (15) පෙරවරුවේ සැසිය ආරම්භ කරමින් ඔවුන්ගේ නිගමනවල සාරාංශයක් ඉදිරිපත් කළේය.
මෙහිදී හොයිබි තමන්ට එල්ල වී තිබූ දූෂණ චෝදනා හතරම තරයේ ප්‍රතික්ෂේප කර තිබුණද, සාක්ෂි සලකා බැලූ විනිසුරුවන් විසින් කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කිරීමේ චෝදනාවලට ඔහු වරදකරු කරනු ලැබීය. ඉන් පළමුවැන්න 2018 වසරේදී ස්කොගම් (Skaugum) හි ඔටුන්න හිමි කුමරුගේ රාජකීය වතුයායේදී සිදු වූවක් වන අතර, දෙවැන්න 2024 වසරේදී ඔස්ලෝ (Oslo) නුවරදී කාන්තාවක සම්බන්ධයෙන් සිදු වූවකි.
කෙසේ වෙතත්, ඔහුට එරෙහිව තිබූ සෙසු චෝදනා දෙකක් වන ඔස්ලෝ හි හෝටලයකදී මුණගැසුණු කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනාවෙන් සහ 2023 වසරේ ලොෆොටන් (Lofoten) දූපත්හි නිවාඩුවක් ගත කරමින් සිටියදී තවත් කාන්තාවක් දූෂණය කළ බවට එල්ල වී තිබූ චෝදනාවලින් ඔහුව නිදහස් කිරීමට අධිකරණය තීරණය කළේය. රාජකීය පවුලට සමීප අයෙකු මෙලෙස බරපතළ ලිංගික අපරාධයකට වරදකරු වී සිරදඬුවම් ලැබීම ජාත්‍යන්තර මාධ්‍යවල දැඩි අවධානයට ලක්ව ඇත.