ටික්ටොක් අනුගාමිකයන් මිලියන 162.2ක් සමඟින් ලොව විශාලතම ටික්ටොක් තාරකාව බවට පත්ව සිටින කාබි ලාමේ, සිය වීසා කාලය ඉක්මවා ඇමෙරිකාවේ රැඳී සිටීම හේතුවෙන් එරට ෆෙඩරල් බලධාරීන්ගේ භාරයට පත්වීමෙන් පසු පසුගියදා ඇමෙරිකාවෙන් නෙරපා හැර තිබෙනවා.
වත්මන් ට්‍රම්ප් පරිපාලනය යටතේ ස්ථාපිත කර ඇති ආගමන හා රේගු නීති බලාත්මක කිරීමේ ඒජන්සිය (ICE) ගනු ලැබූ තීරණයකට අනුවයි ලාමේ මෙලෙස රටින් පිට කිරීමට පියවර ගෙන ඇත්තේ. ඔහු එම ඒජන්සියේ අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ලාස් වේගාස් හි හැරී රීඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රැඳී සිට ඇත.
සෙනගාල සම්භවයක් සහ ඉතාලි පුරවැසිභාවය සහිත ලාම්ගේ සැබෑ නම සෙරින්ගේ කාබානේ ලාමේ. ගෙවුණු කොවිඩ්-19 වසංගත සමයේදී කිසිදු අදහස් දැක්වීමකින් තොරව, හුදෙක් සිය මුහුණේ ඉරියව් සහ හැසිරීම් මඟින් ඉදිරිපත් කළ උපහාසාත්මක අංග තුළින් ඔහු ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර අතිශය ජනප්‍රිය තාරකාවක් බවට පත් වුණා.