ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මඟින් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට එකඟ වූ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ (EFF) පස්වන සහ හයවන සමාලෝචන සාර්ථකව නිමාවට පත්ව ඇත. මේ සමඟම ඩොලර් මිලියන 695ක මුදලක් ශ්‍රී ලංකා භාණ්ඩාගාරය වෙත නිල වශයෙන් බැර කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගෙන තිබේ.
පසුගිය මැයි 27 වැනිදා රැස්වූ IMF විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම අරමුදල් නිදහස් කිරීම සඳහා වන අවසන් අනුමැතිය ලබා දෙන ලදී.
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙත ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක සමස්ත ණය මුදලක් අනුමත කළේය.
එම වැඩපිළිවෙළෙහි වත්මන් ප්‍රගතිය පිළිබඳ අදහස් දක්වමින් IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා සඳහන් කළේ, විවිධ අභ්‍යන්තර හා බාහිර අභියෝග මධ්‍යයේ වුව ද ශ්‍රී ලංකා රජය ණය පහසුකමට අදාළ ප්‍රතිසංස්කරණ සහ කොන්දේසි ඉතා ශක්තිමත්ව සහ විධිමත්ව ඉදිරියට ගෙන ගොස් ඇති බවයි.
පසුගියදා බලපෑ “දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ දේශීය බලපෑම් මෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාව හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකා ආර්ථිකයට බාහිර අවදානම් මතු විය හැකි බවට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවයි.
විශේෂයෙන්ම ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යාම සහ සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබෙන ආදායම් සීමා වීම හේතුවෙන් 2026 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3%ක මට්ටමක් දක්වා මන්දගාමී වනු ඇති බවට ඔවුන් පුරෝකථනය කර ඇත.
ශ්‍රී ලංකාවේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට අවසන් අදියරට පැමිණ තිබීම සුබදායී තත්ත්වයක් වුව ද, රටේ ණය තිරසාරභාවය පිළිබඳ අවදානම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කෙන්ජි ඔකමුරා මහතා පෙන්වා දෙයි.
එබැවින් ඉදිරි කාලසීමාව තුළදී රටේ භාණ්ඩ හා සේවා මිල ස්ථාවරව පවත්වා ගැනීමට (Inflation Control) මුල් තැන දෙමින්, දැනට ක්‍රියාත්මක මූල්‍ය ප්‍රතිපත්තිය ඒ අයුරින්ම ඉදිරියට ගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.