ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු 3කට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන් තිදෙනෙකුට (3) එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන බලකාය විසින් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ

මිතුරන් සමග බෙදාගන්න

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන් තිදෙනෙකුට (3) එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන බලකාය විසින් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ බරපතළ දූෂණ චෝදනා යටතේ අධිචෝදනා පත්‍ර (Indictments) ගොනු කර තිබේ.

යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහළ උණුසුම මැකී යන්නටත් මත්තෙන්, රාජපක්ෂ පවුලේ තවත් ප්‍රබල දේශපාලනඥයෙකු මෙලෙස නිල වශයෙන් මහාධිකරණය හමුවට පැමිණවීම විශේෂත්වයකි.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ මෙම අධිචෝදනා පත්‍රයේ ප්‍රධාන විත්තිකරු ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ නම් කර ඇති අතර, සෙසු විත්තිකරුවන් ලෙස මෙරට රාජ්‍ය ක්ෂේත්‍රයේ ඉහළම තනතුරු දැරූ සහ දරන නිලධාරීන් දෙදෙනෙකු නම් කර ඇත,

ශෂීන්ද්‍ර රාජපක්ෂ: හිටපු රාජ්‍ය අමාත්‍ය.

සේපාලිකා සමන් කුමාරී: හානිපූර්ණ කාර්යාලයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙන්ම වත්මන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය (Additional Secretary).

කීර්ති බණ්ඩාර කොටගම: ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා.

මෙම විත්තිකරුවන්ට එරෙහිව බරපතළ චෝදනා 10 ක් ඉදිරිපත් කර ඇති අතර, වරදකරුවන් කිරීමට අදාළව පුද්ගලයින් 30 දෙනෙකු සාක්ෂිකරුවන් (Witnesses) ලෙස ද, නඩු භාණ්ඩ වශයෙන් රහස්‍ය ලේඛන 38 ක් ද අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අධිචෝදනා පත්‍රයට අනුව විත්තිකරුවන්ට එරෙහිව එල්ල වී ඇති ප්‍රධානතම චෝදනාව වන්නේ 2022 වසරේ මැයි මස 09 වනදා රට තුළ ඇති වූ ‘අරගලය’ වකවානුවේ සිදුවූ දේපළ හානියක් මුදල් ගැන්වීම සඳහා භාවිත කිරීමයි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් සහ දේපළ කිහිපයක් අරගලයේදී විනාශ වී තිබුණි. නීති විරෝධී ඉදිකිරීමක් බැවින් ඊට වන්දි ගෙවීම රජය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබියදී, ඊට පටහැනිව ක්‍රියා කර ඇති බව විමර්ශනවලදී හෙළි විය.

එහිදී විත්තිකරුවන් තිදෙනා එක්ව, හානිපූර්ණය සඳහා වන කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන්ට සිය දේශපාලන හා නිල බලය භාවිත කරමින් දැඩි ලෙස බලපෑම් කර, රජයේ මුදල් රුපියල් 8,850,000 ක (ලක්ෂ 88කට අධික) වන්දි මුදලක් වංචනික ලෙස ලබාගෙන තිබේ. රජයට පාඩු කරමින් මෙම මුදල් ලබාගැනීම තුළින් “දූෂණය” (Corruption) නමැති සාපරාධී වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව නඩු පවරා ඇත.

මීට අමතරව, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහිව තවත් තීරණාත්මක චෝදනාවක් එල්ල වී තිබේ. එනම්, තමා යටතේ සේවය කළ මනෝජ් හේමලාල් ඒකනායක නැමැති පෞද්ගලික සේවකයාගේ නමට රාජ්‍ය ඉඩම් බලපත්‍රයක් (Land Permit) සකස් කර දෙන ලෙස, මහවැලි අධිකාරියේ වලව කලාපයේ නේවාසික කළමනාකරු ඇතුළු පහළ නිලධාරීන්ට අමාත්‍ය ධුරය පාවිච්චි කරමින් නීති විරෝධී ලෙස බලපෑම් කිරීමයි.

මෙම නඩුව ඉදිරි දිනකදී කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිත අතර, වැරදිකරුවන් වුවහොත් විත්තිකරුවන්ට දැඩි සිරදඬුවම් සහ දඩ මුදල් නියම වනු ඇති බව නීති විශ්ලේෂකයෝ පවසති.

වෙනත් පුවත්

උණුසුම් පුවත්