ජනාධිපති අරමුදලෙන් සරසවි සිසුන්ට ලක්ෂ 58ක ලැප්ටොප් පරිගණක

දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අයදුම්පත් කැඳවා, ඉන් තෝරාගනු ලැබූ විශේෂ දක්ෂතා සහිත විශ්වවිද්‍යාල සිසුසිසුවියන් වෙනුවෙන් නවීන අධ්‍යාපනික උපකරණ පරිත්‍යාග කිරීමේ සුවිශේෂී වැඩසටහනක්

මිතුරන් සමග බෙදාගන්න

දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අයදුම්පත් කැඳවා, ඉන් තෝරාගනු ලැබූ විශේෂ දක්ෂතා සහිත විශ්වවිද්‍යාල සිසුසිසුවියන් වෙනුවෙන් නවීන අධ්‍යාපනික උපකරණ පරිත්‍යාග කිරීමේ සුවිශේෂී වැඩසටහනක් ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති අරමුදල් ප්‍රධාන කාර්යාලයේදී (President’s Fund Office) ඉතා සාර්ථකව පැවැත්විණි.

මෙහි පළමු අදියර යටතේ දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරමින් තෝරාගත් සිසුසිසුවියන් 14 දෙනෙකු වෙත උසස් අධ්‍යාපන කටයුතු සඳහා අත්‍යවශ්‍ය වන ලැප්ටොප් පරිගණක (Laptop Computers) බෙදා දීම සිදු කෙරුණු අතර, ඒ වෙනුවෙන් ජනාධිපති අරමුදල වැය කර ඇති සමස්ත මුදල රුපියල් ලක්ෂ 58කි.

ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම දීර්ඝකාලීන සුභසාධන ව්‍යාපෘතිය යටතේ, පසුගිය 2025 වසරේ සහ පවතින 2026 වසරේදී විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන මූල්‍ය අපහසුතා සහිත දක්ෂ සිසුසිසුවියන් 30 දෙනෙකුට පමණ මේ වන විට විවිධ අධ්‍යාපනික උපකරණ සහ තාක්ෂණික මෙවලම් සපයා දී ඇත.

මෙරට අනාගත බුද්ධිමතුන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා ජනාධිපති අරමුදල මඟින් රුපියල් ලක්ෂ 98කට අධික (මිලියන 9.8ක) දැවැන්ත මුදලක් ප්‍රතිපාදන ලෙස වෙන් කර තිබීම විශේෂත්වයකි.

තාක්ෂණික මෙවලම්වලින් සන්නද්ධ ශ්‍රම බලකායක් බිහිකිරීම අරමුණු කරගනිමින් සංවිධානය කෙරුණු මෙම උපකරණ ප්‍රදානය කිරීමේ නිල උත්සවය සඳහා ජනාධිපති අරමුදලේ ලේකම් මෙන්ම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

මීට අමතරව පරිගණක පරිත්‍යාගයන් ලැබූ විශ්වවිද්‍යාල සිසුන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර, තමන්ට ලැබුණු මෙම වටිනා අධ්‍යාපන දායකත්වය පිළිබඳව සිසුන් සහ දෙමාපියන් රජයට සිය කෘතඥතාව පළකර සිටියහ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්