ආසියානු කලාපයේ මේ දිනවල පැතිර යන නව කොවිඩ්-19 ප්‍රභේද ශ්‍රී ලංකාවෙන් ද හඳුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) නිවේදනය කරයි.
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සඳහන් කළේ, ඔමික්‍රෝන් වෛරසයේ උප-ප්‍රභේදයන් වන LF.7 සහ XFG ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වී ඇති බවයි. දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල පර්යේෂණ මගින් මෙම තත්ත්වය තහවුරු වී තිබේ.
කෙසේ වෙතත්, මෙම නව කොවිඩ් උප-ප්‍රභේද සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බව වෛද්‍ය ජයමහ මහතා අවධාරණය කරයි. කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන බැවින් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බවද ඔහු කියා සිටියේය.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් සහ නිදන්ගත රෝගීන් වැනි අවදානමට ලක්විය හැකි කාණ්ඩ මුඛ ආවරණ පැළඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම වැනි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවයි.
මේ අතර, ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිඳාගේ ජෛව සාම්පල කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කිරීමෙන් අනතුරුව ඒ බව තහවුරු වී ඇති බවයි. කෙසේ වෙතත්, එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිර යන නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සඳහන් කළේය.