ඉන්දියාවේදී ශ්‍රී ලාංකික තරුණියක ඝාතනය කෙරේ

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට අයත් චෙන්නායි, කොයිම්බේඩු ප්‍රදේශයේදී 18 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණියක අමානුෂික ලෙස ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වේ. රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ බහින්බස්වීමක්

මිතුරන් සමග බෙදාගන්න

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට අයත් චෙන්නායි, කොයිම්බේඩු ප්‍රදේශයේදී 18 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණියක අමානුෂික ලෙස ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වේ. රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති අතර, සිද්ධියට සෘජුවම සම්බන්ධ පුද්ගලයන් 7 දෙනෙකු තමිල්නාඩු පොලිසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ විලුප්පුරම් දිස්ත්‍රික්කයේ පිහිටි ශ්‍රී ලාංකික සරණාගත කඳවුරක ජීවත් වූ යාන්සි නමැති 18 හැවිරිදි තරුණියකි.

මූලික පොලිස් විමර්ශනවලට අනුව, මියගිය යාන්සි නමැති තරුණිය සමාජ මාධ්‍ය ජාලයක් හරහා චෙන්නායි හි පදිංචි වෙනත් තරුණියක සමඟ මිතුරු වී ඇත. ඇයව පෞද්ගලිකව හමුවීම සඳහා යාන්සි විලුප්පුරම් සිට චෙන්නායි බලා ගොස් තිබේ.

පසුව ඔවුන් දෙදෙනා එදින රාත්‍රියේ කොයිම්බේඩු ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට (Night Club) ගොස් ඇති අතර, එහිදී එහි සිටි තවත් පිරිසක් සමඟ හදිසි ආරවුලක් ඇති කරගෙන තිබේ. තත්ත්වය පාලනය කිරීම සඳහා සමාජ ශාලාවේ ආරක්ෂක නිලධාරීන් විසින් ගැටුමට සම්බන්ධ දෙපාර්ශවයටම වහාම ඉන් පිටතට යන ලෙස නියෝග කර ඇත.

සමාජ ශාලාවෙන් පිටතට පැමිණි යාන්සි සහ ඇයගේ මිතුරිය යතුරුපැදියකින් ආපසු ගමන් කරමින් සිටියදී, අනෙක් කණ්ඩායම මෝටර් රථයකින් ඔවුන් ලුහුබැඳ තිබේ. පසුව ඔවුන් පැමිණි මෝටර් රථයෙන් යාන්සි ගමන් කළ යතුරුපැදිය හිතාමතාම ඉතා දරුණු ලෙස අනතුරට ලක් කර පළාගොස් ඇති බව විමර්ශනවලදී හෙළි විය.

අනතුරින් යාන්සි එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර, යතුරුපැදියේ ගමන් කළ අනෙක් තරුණිය බරපතල තුවාල ලබා මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

අනතුර සිදුකිරීම සඳහා ලුහුබැඳ ආ සැකකටයුතු මෝටර් රථයේ ඉන්දියාවේ ප්‍රමුඛ දේශපාලන පක්ෂයකට අයත් නිල ධජයක් සවිකර තිබූ බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. මේ හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් තමිල්නාඩු පොලිසිය විශේෂ බලකායන් යොදවමින් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ අතර, පැය කිහිපයක් ඇතුළත සැකකරුවන් 7 දෙනා කොටු කර ගැනීමට සමත් විය.

සිද්ධියට මුල් වූ කොයිම්බේඩු හි පිහිටි අදාළ රාත්‍රී සමාජ ශාලාවට තමිල්නාඩු බලධාරීන් විසින් මේ වන විට සම්පූර්ණයෙන්ම මුද්‍රා තබා (Seal) ඇති අතර, ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග සඳහා විමර්ශන වාර්තා සූදානම් කෙරෙමින් පවතී.

වෙනත් පුවත්

උණුසුම් පුවත්