වෙසක් උත්සවය නිමිත්තෙන් කඩවත නගරයට පැමිණි ජනතාවට පීඩාවක් වන අයුරින්, අධික ශබ්දයක් නඟමින් ධාවනය වූ යතුරුපැදි 15ක් කඩවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කඩවත පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම වැටලීම සිදුකර ඇත.
පොලිසිය සඳහන් කළේ වෙසක් සිරි නැරඹීමට පැමිණි මගී ජනතාවට සහ වෙසක් නරඹන්නන්ට දැඩි හිරිහැරයක් වන පරිදි, ශබ්ද දූෂණයක් ඇති කරමින් මෙම තරුණයින් පිරිස නගරය පුරා යතුරුපැදි ධාවනය කර ඇති බවයි. මෙලෙස අත්අඩංගුවට ගත් යතුරුපැදි අතර ලියාපදිංචි නොකළ යතුරුපැදියක් ද වන බව පොලිසිය පවසයි.
අදාළ යතුරුපැදිවල හිමිකරුවන්ට සහ ඒවා ධාවනය කළ තරුණයින්ට එරෙහිව මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කඩවත පොලිසිය ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතය.