ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සමඟ පැවති තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (සැප්තැම්බර් 14) සමත් වුවත්, තරගයෙන් අනතුරුව ඉන්දීය ක්‍රීඩකයින්ගේ හැසිරීම මේ වනවිට ජාත්‍යන්තර අවධානයට ලක් වී තිබෙනවා.
සාමාන්‍යයෙන් ක්‍රිකට් තරගයක් අවසන් වූ විට දෙපිලේම ක්‍රීඩකයින් අතට අත දී සුබපතා ගැනීම සිරිතක් වුවත්, ඊයේ තරගයෙන් පසු ඉන්දීය ක්‍රීඩකයින් පාකිස්තාන ක්‍රීඩකයින්ට අතට අතදීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් සහ ශිවම් ඩුබේ තරගය ජයග්‍රහණය කිරීමෙන් පසු පිටිය මැදදී අතට අත දීමකින් තොරව ක්‍රීඩාගාර වෙත පිටව ගිය අතර, ඉන්දීය ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය ද සිය විවේකාගාරය වෙත ගොස් එහි දොර වසාගෙන ඇති බව වාර්තා වේ. මෙම ක්‍රියාව මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා.
තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව මාධ්‍යවේදීන් විමසා සිටි විට ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් සඳහන් කළේ, මෙම ජයග්‍රහණය ‘සින්දූර් මෙහෙයුම’ සඳහා එක් වූ සියලුම සන්නද්ධ හමුදාවන් වෙනුවෙන් පුද කරන බවයි. තවද, තමන් ඇතුළු කණ්ඩායම මෙහි පැමිණියේ ක්‍රීඩා කිරීමට පමණක් බවත්, එම කාර්යය මැනවින් ඉටුකළ බවත් ඔහු පවසා සිටියා.
මෙම මාධ්‍ය හමුවට පාකිස්තාන නායක සල්මන් අලි අගා සහභාගී නොවූ අතර, ඔහු වෙනුවට පැමිණි ප්‍රධාන පුහුණුකරු මයික් හෙසන් ඉන්දීය ක්‍රීඩකයින්ගේ ක්‍රියාකලාපය පිළිබඳව සිය කනස්සල්ල පළ කළා.
“අපි කිසිම අවස්ථාවක ඉන්දීය කණ්ඩායමෙන් එවැනි ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුණේ නැහැ. ප්‍රතිවාදීන් මෙලෙස කටයුතු කිරීම පිළිබඳව අපට කලකිරීමක් ඇති වුණා” යැයි ඔහු සඳහන් කළා.
මෙම සිදුවීම, ක්‍රිකට් ක්‍රීඩාවේ ආත්මය වන ක්‍රීඩාශීලීත්වය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රජාව තුළ සංවාදයක් ඇති කිරීමට හේතු වී තිබෙනවා.