එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා නිල සංචාරයක් සඳහා අද (ජූනි 23) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ඔහු එළඹෙන 26 වැනිදා දක්වා දිවයිනේ රැඳී සිටින බවයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ 2016 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව වීම විශේෂත්වයක්.
මෙම සංචාරය අතරතුර, මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් හමුවීමට නියමිතයි.
ඊට අමතරව, ඔහු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඇතුළු කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, ආගමික නායකයින්, සිවිල් සමාජ නියෝජිතයින් සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයින් කිහිපදෙනෙකු හමුවීමටද සැලසුම් කර තිබෙනවා. එමෙන්ම, මෙරට මානව හිමිකම් කොමිෂන් සභාව සමඟද මහ කොමසාරිස්වරයා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
මෙම සංචාරය, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානය තවදුරටත් යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.