පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුදබිමේ අභිනවයෙන් ඉදිකරන ලද පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ඇතුළත් දෙමහල් මන්දිරය අද (ඔක්තෝබර් 06) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ වැඩවසන සෝමාවතී චෛත්‍යරාජයාණන් වහන්සේ වන්දනාමාන කිරීමට පැමිණෙන ලොව පුරා බැතිමතුන්ගේ සහ පුරාවිද්‍යා පර්යේෂණ කටයුතුවල නිරතවන්නන්ගේ පහසුව උදෙසා මෙම නව පහසුකම් සංකීර්ණය ඉදි කර තිබේ.
මෙම දෙමහල් මන්දිරය ඉදිකෙරුණේ ඓතිහාසික සෝමාවතී රජමහා විහාරාධිපති ආචාර්ය අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි රත්න සමූහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය මිත්‍රපාල ලංකේෂ්වරගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් වීම විශේෂත්වයකි. මෙම ඉදිකිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සැලසුම් සහ අධීක්ෂණය යටතේ සිදු විය.
අද පෙරවරුවේ සෝමාවතී පුදබිමට පැමිණි ජනාධිපතිවරයා පළමුව චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.
ඉන් අනතුරුව, සමරු ඵලකය නිරාවරණය කරමින් නව දෙමහල් මන්දිරය විවෘත කළ ජනාධිපතිවරයා, එහි තැන්පත් කර ඇති බුද්ධ ප්‍රතිමාවහන්සේ සහ සධාතුක කරඬුව වෙත ප්‍රථම පුෂ්පෝපහාරය ද පුද කළේය.
මෙම අවස්ථාවේදී රත්න සමූහ ව්‍යාපාරයේ සභාපති මිත්‍රපාල ලංකේෂ්වර විසින් ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය
උත්සව සභාව අමතමින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කළේ, මෙම නව කෞතුකාගාරය සහ පර්යේෂණ ආයතනය යනු සෝමාවතී චෛත්‍යරාජයාණන් වහන්සේගේ මහඟු පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳ ඉතිහාසයට පිවිසෙන කවුළුවක් බවට පත්වනු ඇති බවයි.
තවද, විද්‍යාව හා තාක්ෂණය මුසු කළ විධිමත් සංවර්ධන සැලැස්මක් ඔස්සේ මෙම ඓතිහාසික පුදබිම ශ්‍රී ලංකාවාසී මෙන්ම ලෝකවාසී ජනතාවට දායාද කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට ඓතිහාසික සෝමාවතී රජමහා විහාරාධිපති අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටියහ.